4. 2. 4. 9.
[සමාණමචල - දිට්ඨි සූත්රය]
39. මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්යමානය හ. කවර සතර කෙනෙක යත්:
ශ්රමණාචලය, ශ්රමණපුණ්ඩරීකය, ශ්රමණපද්මය, ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුක්රමාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සම්යග්දෘෂ්ටි ඇතියේ වෙයි. සම්යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්යග්වචන ඇතියේ වෙයි. සම්යක්කර්මාන්ත ඇතියේ වෙයි. සම්යග්ආජීව ඇතියේ වෙයි. සම්යග්ව්යායාම ඇතියේ වෙයි. සම්යක්ස්මෘති ඇතියේ වෙයි. සම්යක්සමාධි ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණාචල වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සම්යග්දෘෂ්ටිය ඇතියේ වෙයි. සම්යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්යග්වචන ඇතියේ වෙයි. සම්යක් කර්මාන්ත ඇතියේ වෙයි. සම්යග් ආජීව ඇතියේ වෙයි. සම්යග්ව්යායාම ඇතියේ වෙයි. සම්යක්ස්මෘති ඇතියේ වෙයි. සම්යක් සමාධි ඇතියේ වෙයි. සම්යග්ඥාන ඇතියේ වෙයි. සම්යග්විමුක්ති ඇතියේ වෙයි. වැලිත් අෂ්ටවිධ විමෝක්ෂයන් නාමකයින් පැහැසීම් නො කොට වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණපුණ්ඩරීක වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණපද්ම වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සම්යග්දෘෂ්ටි ඇත්තේ වෙයි ... සම්යග්විමුක්ති ඇත්තේ වෙයි. අෂ්ටවිධ විමෝක්ෂයන් නාමකයින් පැහැස ගෙණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණ පද්ම වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ යදනා ලද්දේ ම සිවුරු බහුල කොට වළඳ කෙරේ. අයාචිත ව අල්පයෙක ... මහණෙනි, මොනොවට බණනුවෙක් ‘ශ්රමණයන් අතුරෙහි ශ්රමණසුකුමාර නම් මේ ය’ යි යම් ම කෙනකුන් ගෙණ බෙණේ ද, මහණෙනි, ඒ මොනොවට බණනුයේ ‘ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර නම් මේ ය’ යි මා ම ගෙණ බණන්නේ ය.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.
4. 2. 4. 10.
[සමාණමචල - ඛන්ධ සූත්රය]
40. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර කෙනෙක යත්:
ශ්රමණාචලය, ශ්රමණපුණ්ඩරීකය, ශ්රමණපද්ම ය, ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශෛක්ෂ වූයේ නො පත් රහත්ඵල ඇත්තේ අනුත්තරයෝගක්ෂේමය ඉස්මින් වෙසේ. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණාචල (=ප්රමාදවිහාරීශෛක්ෂ) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චඋපාදානස්කන්ධයෙහි උදා විය දක්නා සුලු ව වෙසේ: රූපය මෙසේ ය, රූපයාගේ සමුදය මෙසේ ය, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනා මෙසේ ය ... සංඥා මෙසේ ය ... සංස්කාර මෙසේ ය ... විඥාන මෙසේ ය, විඥානසමුදය මෙසේ ය, විඥාන අස්තඞ්ගමය මෙසේ ය කියායි. අෂ්ටවිධ විමෝක්ෂයන් නාමකයින් නො පැහැසැ ගෙණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණපුණ්ඩරීක (=අප්රමාදවිහාරීශෛක්ෂ) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණපද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චෝපාදානස්කන්ධයෙහි උදා - විය දක්නා සුලුව වෙසෙයි: රූපය මෙසේ ය, රූපසමුදය මෙසේ ය, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනා මෙසේ ය ... සංඥා මෙසේ ය ... සංස්කාර මෙසේ ය ... විඥාන මෙසේ ය, විඥානසමුදය මෙසේ ය, විඥාන අස්තඞ්ගමය මෙසේ ය කියා යි. අෂ්ටවිධවිමෝක්ෂයන් නාමකයින් පැහැසැ ගෙණ වෙසේ. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණපද්ම (=අෂ්ටවිමෝක්ෂාලාභිශෛක්ෂ) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ යාචිත වූයේ ම සිවුරු බහුල කොට වළඳයි. අයාචිතව අල්පයෙක ... මහණෙනි, මොනොවට බණනුයේ ‘ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර (=ක්ෂීණාස්රව) නම් මේ ය’ යි යම් ම කෙනකුන් ගෙණ බෙණේ ද, මහණෙනි, මොනොවට බණනුයේ ‘ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර නම් මේ ය’ යි මා ම ගෙණ බණන්නේය.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.
මචලවර්ගය සතරවෙනි යි.
එහි උද්දානය:
පාණාතිපාතසූත්රය, මුසාවාදසූත්රය, වර්ණසූත්රය, කෝධසූත්රය, තමෝතමපරායනසූත්රය, ඔනතසූත්රය, පුත්තසූත්රය, සංයොජනසූත්රය, දිට්ඨිසූත්රය, ඛන්ධසූත්රය යි සූත්ර දශයෙකි.