4. 2. 4. 10.
[සමාණමචල - ඛන්‍ධ සූත්‍රය]
40. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
ශ්‍රමණාචලය, ශ්‍රමණපුණ්ඩරීකය, ශ්‍රමණපද්ම ය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශෛක්‍ෂ වූයේ නො පත් රහත්ඵල ඇත්තේ අනුත්තරයෝගක්‍ෂේමය ඉස්මින් වෙසේ. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණාචල (=ප්‍රමාදවිහාරීශෛක්‍ෂ) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චඋපාදානස්කන්‍ධයෙහි උදා විය දක්නා සුලු ව වෙසේ: රූපය මෙසේ ය, රූපයාගේ සමුදය මෙසේ ය, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනා මෙසේ ය ... සංඥා මෙසේ ය ... සංස්කාර මෙසේ ය ... විඥාන මෙසේ ය, විඥානසමුදය මෙසේ ය, විඥාන අස්තඞ්ගමය මෙසේ ය කියායි. අෂ්ටවිධ විමෝක්‍ෂයන් නාමකයින් නො පැහැසැ ගෙණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක (=අප්‍රමාදවිහාරීශෛක්‍ෂ) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි උදා - විය දක්නා සුලුව වෙසෙයි: රූපය මෙසේ ය, රූපසමුදය මෙසේ ය, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනා මෙසේ ය ... සංඥා මෙසේ ය ... සංස්කාර මෙසේ ය ... විඥාන මෙසේ ය, විඥානසමුදය මෙසේ ය, විඥාන අස්තඞ්ගමය මෙසේ ය කියා යි. අෂ්ටවිධවිමෝක්‍ෂයන් නාමකයින් පැහැසැ ගෙණ වෙසේ. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණපද්ම (=අෂ්ටවිමෝක්‍ෂාලාභිශෛක්‍ෂ) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ යාචිත වූයේ ම සිවුරු බහුල කොට වළඳයි. අයාචිතව අල්පයෙක ... මහණෙනි, මොනොවට බණනුයේ ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර (=ක්‍ෂීණාස්‍රව) නම් මේ ය’ යි යම් ම කෙනකුන් ගෙණ බෙණේ ද, මහණෙනි, මොනොවට බණනුයේ ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි මා ම ගෙණ බණන්නේය.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
මචලවර්‍ගය සතරවෙනි යි.
එහි උද්දානය:
පාණාතිපාතසූත්‍රය, මුසාවාදසූත්‍රය, වර්‍ණසූත්‍රය, කෝධසූත්‍රය, තමෝතමපරායනසූත්‍රය, ඔනතසූත්‍රය, පුත්තසූත්‍රය, සංයොජනසූත්‍රය, දිට්ඨිසූත්‍රය, ඛන්‍ධසූත්‍රය යි සූත්‍ර දශයෙකි.
5. අසුර වර්‍ගය
4. 2. 5. 1.
[අසුර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
අසුරසදෘශ අසුරපරිවාරය, අසුරසදෘශ දේවපරිවාරය, දේවසදෘශ අසුරපරිවාරය, දේවසදෘශ දේවපරිවාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල අසුරසදෘශ අසුරපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. ඔහුගේ පිරිස ද දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල අසුරසදෘශ අසුරපරිවාර වේ.
මහණෙනි, කෙසේ පුද්ගල අසුරසදෘශ දේවපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. වැලිත් ඔහුගේ පිරිස සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල අසුරසදෘශ දේවපරිවාර වේ.
මහණෙනි, කෙසේ පුද්ගල දේවසදෘශ අසුරපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. වැලිත් ඔහුගේ පිරිස දුශ්ශීල වේ. ලමුදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල දේවසදෘශ අසුරපරිවාර වේ.
මහණෙනි, කෙසේ පුද්ගල දේවසදෘශ දේවපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කලණ දහම් ඇතියේ වෙයි. ඔහුගේ පිරිස ද සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල දේවසදෘශ දේවපරිවාර වේ.
මහණෙනි, මේ සතරපුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 2. 5. 2.
[පඨම සමාධි සූත්‍රය]
42. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා සතන්හි අර්‍පණාචිත්තසමාධිය ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වෙයි. තමා සතන්හි අර්‍පණාචිත්තසමාධිය නො ලබන සුලු වෙයි.