4. 2. 4. 8.
[සමාණමචල - සඤ්ඤාජන සූත්රය]
38. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
ශ්රමණාචලය, ශ්රමණපුණ්ඩරීකය, ශ්රමණපද්මය, ශ්රමණයන් අතුරෙහි ශ්රමණසුකුමාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණ අචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සෝවන් වූයේ අවිනිපාතධර්ම ඇත්තේ නියත වූයේ සම්බෝධිපරායණ වූයේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණාචල (=ශ්රෝතාපන්න) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණ පුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන් තුනු කිරීමෙන් සකෘදාගාමී වෙයි. එක් වටෙක ම මෙලොවට අවුදු දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණ පුණ්ඩරීක (=සකෘදාගාමී) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණ පද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. එලොවින් වටාලා නො යන ස්වභාව ඇත්තේ එහි පිරිනිවන් පානේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණ පද්ම (=අනාගාමී) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්රවක්ෂය කිරීමෙන් ... ප්රත්යක්ෂ කොට ගෙණ ඊට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර (=ක්ෂීණාස්රව) වේ.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.
4. 2. 4. 9.
[සමාණමචල - දිට්ඨි සූත්රය]
39. මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්යමානය හ. කවර සතර කෙනෙක යත්:
ශ්රමණාචලය, ශ්රමණපුණ්ඩරීකය, ශ්රමණපද්මය, ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුක්රමාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සම්යග්දෘෂ්ටි ඇතියේ වෙයි. සම්යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්යග්වචන ඇතියේ වෙයි. සම්යක්කර්මාන්ත ඇතියේ වෙයි. සම්යග්ආජීව ඇතියේ වෙයි. සම්යග්ව්යායාම ඇතියේ වෙයි. සම්යක්ස්මෘති ඇතියේ වෙයි. සම්යක්සමාධි ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණාචල වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සම්යග්දෘෂ්ටිය ඇතියේ වෙයි. සම්යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්යග්වචන ඇතියේ වෙයි. සම්යක් කර්මාන්ත ඇතියේ වෙයි. සම්යග් ආජීව ඇතියේ වෙයි. සම්යග්ව්යායාම ඇතියේ වෙයි. සම්යක්ස්මෘති ඇතියේ වෙයි. සම්යක් සමාධි ඇතියේ වෙයි. සම්යග්ඥාන ඇතියේ වෙයි. සම්යග්විමුක්ති ඇතියේ වෙයි. වැලිත් අෂ්ටවිධ විමෝක්ෂයන් නාමකයින් පැහැසීම් නො කොට වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණපුණ්ඩරීක වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණපද්ම වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සම්යග්දෘෂ්ටි ඇත්තේ වෙයි ... සම්යග්විමුක්ති ඇත්තේ වෙයි. අෂ්ටවිධ විමෝක්ෂයන් නාමකයින් පැහැස ගෙණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණ පද්ම වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ යදනා ලද්දේ ම සිවුරු බහුල කොට වළඳ කෙරේ. අයාචිත ව අල්පයෙක ... මහණෙනි, මොනොවට බණනුවෙක් ‘ශ්රමණයන් අතුරෙහි ශ්රමණසුකුමාර නම් මේ ය’ යි යම් ම කෙනකුන් ගෙණ බෙණේ ද, මහණෙනි, ඒ මොනොවට බණනුයේ ‘ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර නම් මේ ය’ යි මා ම ගෙණ බණන්නේ ය.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.