4. 2. 4. 7.
[සමාණමචල - පුත්ත සූත්රය]
37. මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර කෙනෙක යත්:
ශ්රමණඅචල ය, ශ්රමණපුණ්ඩරීක ය, ශ්රමණපද්ම ය, ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශෛක්ෂ වේ, පිළිපන්නේ වේ, අනුත්තර යෝගක්ෂේම සඞ්ඛ්යාත අර්හත්ත්වය ඉස්නේ වෙසෙයි. මහණෙනි, යම්පරිදි මුදුනෙහි බිසෙස් කළ කැත්රජක්හුගේ දෙටුපුත් අභිෂේකාර්හ වූයේ (එහෙත්) අනභිෂික්ත වූයේ (එහෙයින්) ම අචලප්රාප්ත වූයේ වේද, මහණෙනි, එපරිදි ම මහණ නොනිමිසිඛඇතියේ වෙයි. පිළිපන්නේ වෙයි. අනුත්තර යෝගක්ෂේමය ඉස්නේ වෙසෙයි. මහණෙනි, මෙසේ (නොසැලෙන ශෛක්ෂ) පුද්ගල ශ්රමණාචල වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ චේතෝවිමුක්තිය හා ප්රඥාවිමුක්තිය හා දිටුදැහැමියෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට සමවැද වෙසෙයි. අෂ්ටවිධ විමෝක්ෂයන් නාමකයින් පැහැස ගෙණ නො වෙසෙයි. මහණෙනි, මෙසේ ධ්යානරහිත (ශුෂ්කවිදර්ශක රහත්) පුද්ගල ශ්රමණපුණ්ඩරීක වෙයි.
මහණෙනි, පුද්ගල කෙසේ ශ්රමණපද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්රවක්ෂයයෙන් ආස්රව රහිත වූ ඵලසමාධිය හා ඵලප්රඥාව දිටුදැහැමි යෙහි ම තමාවිසින් විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ගෙණ සමවැද වෙසේ. අෂ්ටවිධ විමෝක්ෂ ද නාමකයින් පැහැස වෙසේ. මහණෙනි, මෙසේ (ධ්යානසහිත විදර්ශනායෙන් රහත්) පුද්ගල ශ්රමණපද්ම වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ (දායකයන් විසින්) යදනා ලද්දේ ම සිවුරු බිහිලි කොට වළඳ කෙරෙයි. නො යදනා ලදුව අල්පයෙක. යදනා ලදුයේ ම පිඬුවා බිහිලි කොට වළඳ කෙරෙයි. නො යදනා ලදුව අල්පයෙක. යදනා ලදුයේ ම සෙනසුන් බිහිලි කොට වළඳ කෙරෙයි. නොයදනා ලදුයේ අල්පයෙක. යදනා ලදුයේ ම ගිලන්පස බෙහෙසත් පිරිකර බිහිලි කොට වළඳ කෙරෙයි. නො යදනා ලදුයේ අල්පයෙක. යම් ම සබ්රම්සරුන් හා වෙසේ ද, ඒ සබ්රම්සරහු ඔහුට මනවඩන කායකර්මයෙන් බුහුසුයෙන් පවතිත්. අමනාප කායකර්මයෙන් අල්පයෙක. මනවඩන වාක්කර්මයෙන් බහුල කොට පවතිත්. අමනාප වාක්කර්මයෙන් අල්පයෙක. ලගන්නා මනඃකර්මයෙන් බහුල කොට පවතිත්. අමනාප මනඃකර්මයෙන් අල්පයෙක. මනවඩන උපහාර බහුල කොට එළවත්. අමනාප උපහාර අල්පයෙක. පිත්තසමුත්ථාන වෙත්වයි, ශ්ලෙෂ්ම සමුත්ථාන වෙත්වයි, වාතසමුත්ථාන වෙත්වයි, සාන්නිපාතික වෙත්වයි, ඍතුපරිණාමජ වෙත්වයි, විෂමපරිහාරජ වෙත්වයි, ඖපක්රමික වෙත්වයි, කර්මවිපාකජ වෙත්වයි යම් ම වේදනා කෙනෙක් ඇද්ද ඒ වේදනාවෝ ඔහුට බහුල කොට නූපදිත්. අල්පාබාධ වෙයි. විශුද්ධ චිත්තයෙහි යෙදුනු දෘෂ්ටධර්මසුඛවිහරණ ඇති සතර දැහැන් කැමැති සේ ලබන සුලු වෙයි. නිදුකින් ලබන සුලු වෙයි. විපුල කොට ලබන සුලු වෙයි. ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ චේතෝවිමුක්ති හා ප්රඥාවිමුක්ති හා දිටුදැමියෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට සමවැද වෙසේ. මහණෙනි, මෙසේ පුඟුල් මහණුන් කෙරෙහි ශ්රමණසුකුමාර වේ.
මහණෙනි, සැබෑකියනුවෙක් ‘ශ්රමණයන් අතුරෙහි ශ්රමණසුකුමාර නම් මේ ය’ යි යමකු ගෙන බෙණේ ද, මහණෙනි, ඒ සබවස් කියනුයේ ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර නම් මේ ය යි මා ම ගෙණ බණන්නේය. මහණෙනි, මම යාචිතව ම සිවුරු බහුල කොට වළඳ කෙරෙමි. අයාචිතව අල්පයෙක. යාචිතව ම පිඬුවා බහුල කොට වළඳ කෙරෙමි. අයාචිත ව අල්පයෙක. යාචිතව ම සෙනසුන් බහුල කොට වළඳ කෙරෙමි. අයාචිතව අල්පයෙක. යාචිතව ම ගිලන්පස බෙහෙසත් පිරිකර බහුල කොට වළඳ කෙරෙමි. අයාචිතව අල්පයෙක. යම් මහණුන් හා වෙසෙම් ද, ඔහු මනවඩන කායකර්මයෙන් ම බහුල කොට මට පවතිත්. අමනාප සැටියෙන් අල්පයෙක. මනවඩන වාක්කර්මයෙන් ම බහුල කොට පවතිත්. අමනාප සැටියෙන් අල්පයෙක. මනවඩන මනඃ කර්මයෙන් ම බහුල කොට පවතිත්. අමනාප සැටියෙන් අල්පයෙක. මනවඩන්නා වූ ම උපහාර බහුල කොට එළවත්. අමනාප දෑ අල්පයෙක. පිත්තසමුත්ථාන වෙත්වයි, ශ්ලෙෂ්මසමුත්ථාන වෙත්වයි, වාතසමුත්ථාන වෙත්වයි, සාන්නිපාතික වෙත්වයි, ඍතුපරිණාමජ වෙත්වයි, විෂමපරිහාරජ වෙත්වයි, ඖපක්රමික වෙත්වයි, කර්මවිපාකජ වෙත්වයි, යම් වේදනාවෝ ඇත් ද, ඔහු මට බොහෝ කොට ම නූපදිත්. මම අල්පාබාධයෙමි. විශුද්ධචිත්තයෙහි යෙදුනු ඉහාත්ම සුඛවිහරණ ඇති සතර දැහැන් කැමැතිසේ ලබන සුලුයෙමි, නිදුකින් ලබන සුලුයෙමි, විපුල කොට ලබන සුලුයෙම් වෙමි, ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ චේතෝවිමුක්තිය හා ප්රඥාවිමුක්තිය හා දිටුදැමියෙහි ම තමා විසින් ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට සමවැද වෙසෙමි.
මහණෙනි, මනා කොට බණනුවෙක් ‘ශ්රමණයන් අතුරෙහි ශ්රමණසුකුමාර නම් මේ ය’ යි යමකු ගෙණ බෙණේ ද, මහණෙනි, ‘ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර නම් මේ ය’ යි මොනොවට බණනුයේ මා ම ගෙණ බණන්නේ ය.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.
4. 2. 4. 8.
[සමාණමචල - සඤ්ඤාජන සූත්රය]
38. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
ශ්රමණාචලය, ශ්රමණපුණ්ඩරීකය, ශ්රමණපද්මය, ශ්රමණයන් අතුරෙහි ශ්රමණසුකුමාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණ අචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සෝවන් වූයේ අවිනිපාතධර්ම ඇත්තේ නියත වූයේ සම්බෝධිපරායණ වූයේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණාචල (=ශ්රෝතාපන්න) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණ පුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන් තුනු කිරීමෙන් සකෘදාගාමී වෙයි. එක් වටෙක ම මෙලොවට අවුදු දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණ පුණ්ඩරීක (=සකෘදාගාමී) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණ පද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. එලොවින් වටාලා නො යන ස්වභාව ඇත්තේ එහි පිරිනිවන් පානේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණ පද්ම (=අනාගාමී) වේ.