4. 2. 4. 6.
[ඔනතොනත සූත්රය]
36. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඔනතොනත (නීච-නීච) ය, ඔනතුන්නත (නීච-උත්තම) ය, උන්නතොනත (උත්තම-නීච) ය, උන්නතුන්නත (උත්තම-උත්තම) යි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ඔනතොනත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැඬල් කුලයෙහි වේවයි … නීචකුලෙයක උපන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. සිතින් දුශ්චරිත කරයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහව ගිය නපුරු ගති ඇති, විවසව පතිතවන, නිරයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල ඔනතොනත වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ඔනතුන්නත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැඬල්කුලෙහි වේවයි … නීචකුලෙයක උපන්නේ වෙයි. හේ කයින් සුචරිත කරයි, වචනයෙන් සුචරිත කරයි. සිතින් සුචරිත කරයි. හේ කයින් සුචරිත කොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට, කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්ගලෝකයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල ඔනතුන්නත වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල උන්නතොනත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කැත්මහසල් කුලෙහි වේවයි … උතුම් කුලෙහි උපන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහව ගිය නපුරු ගති ඇති, විවසව පතිතවන නිරයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල උන්නතොනත වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල උන්නතුන්නත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කැත්මහසල් කුලෙහි වේවයි … උතුම් කුලෙහි උපන්නේ වෙයි. හේ කයින් සුචරිත කොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති, ස්වර්ගලෝකයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල උන්නතුන්නත වේ.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමාන වෙති.
4. 2. 4. 7.
[සමාණමචල - පුත්ත සූත්රය]
37. මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර කෙනෙක යත්:
ශ්රමණඅචල ය, ශ්රමණපුණ්ඩරීක ය, ශ්රමණපද්ම ය, ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශෛක්ෂ වේ, පිළිපන්නේ වේ, අනුත්තර යෝගක්ෂේම සඞ්ඛ්යාත අර්හත්ත්වය ඉස්නේ වෙසෙයි. මහණෙනි, යම්පරිදි මුදුනෙහි බිසෙස් කළ කැත්රජක්හුගේ දෙටුපුත් අභිෂේකාර්හ වූයේ (එහෙත්) අනභිෂික්ත වූයේ (එහෙයින්) ම අචලප්රාප්ත වූයේ වේද, මහණෙනි, එපරිදි ම මහණ නොනිමිසිඛඇතියේ වෙයි. පිළිපන්නේ වෙයි. අනුත්තර යෝගක්ෂේමය ඉස්නේ වෙසෙයි. මහණෙනි, මෙසේ (නොසැලෙන ශෛක්ෂ) පුද්ගල ශ්රමණාචල වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ චේතෝවිමුක්තිය හා ප්රඥාවිමුක්තිය හා දිටුදැහැමියෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට සමවැද වෙසෙයි. අෂ්ටවිධ විමෝක්ෂයන් නාමකයින් පැහැස ගෙණ නො වෙසෙයි. මහණෙනි, මෙසේ ධ්යානරහිත (ශුෂ්කවිදර්ශක රහත්) පුද්ගල ශ්රමණපුණ්ඩරීක වෙයි.
මහණෙනි, පුද්ගල කෙසේ ශ්රමණපද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්රවක්ෂයයෙන් ආස්රව රහිත වූ ඵලසමාධිය හා ඵලප්රඥාව දිටුදැහැමි යෙහි ම තමාවිසින් විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ගෙණ සමවැද වෙසේ. අෂ්ටවිධ විමෝක්ෂ ද නාමකයින් පැහැස වෙසේ. මහණෙනි, මෙසේ (ධ්යානසහිත විදර්ශනායෙන් රහත්) පුද්ගල ශ්රමණපද්ම වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ (දායකයන් විසින්) යදනා ලද්දේ ම සිවුරු බිහිලි කොට වළඳ කෙරෙයි. නො යදනා ලදුව අල්පයෙක. යදනා ලදුයේ ම පිඬුවා බිහිලි කොට වළඳ කෙරෙයි. නො යදනා ලදුව අල්පයෙක. යදනා ලදුයේ ම සෙනසුන් බිහිලි කොට වළඳ කෙරෙයි. නොයදනා ලදුයේ අල්පයෙක. යදනා ලදුයේ ම ගිලන්පස බෙහෙසත් පිරිකර බිහිලි කොට වළඳ කෙරෙයි. නො යදනා ලදුයේ අල්පයෙක. යම් ම සබ්රම්සරුන් හා වෙසේ ද, ඒ සබ්රම්සරහු ඔහුට මනවඩන කායකර්මයෙන් බුහුසුයෙන් පවතිත්. අමනාප කායකර්මයෙන් අල්පයෙක. මනවඩන වාක්කර්මයෙන් බහුල කොට පවතිත්. අමනාප වාක්කර්මයෙන් අල්පයෙක. ලගන්නා මනඃකර්මයෙන් බහුල කොට පවතිත්. අමනාප මනඃකර්මයෙන් අල්පයෙක. මනවඩන උපහාර බහුල කොට එළවත්. අමනාප උපහාර අල්පයෙක. පිත්තසමුත්ථාන වෙත්වයි, ශ්ලෙෂ්ම සමුත්ථාන වෙත්වයි, වාතසමුත්ථාන වෙත්වයි, සාන්නිපාතික වෙත්වයි, ඍතුපරිණාමජ වෙත්වයි, විෂමපරිහාරජ වෙත්වයි, ඖපක්රමික වෙත්වයි, කර්මවිපාකජ වෙත්වයි යම් ම වේදනා කෙනෙක් ඇද්ද ඒ වේදනාවෝ ඔහුට බහුල කොට නූපදිත්. අල්පාබාධ වෙයි. විශුද්ධ චිත්තයෙහි යෙදුනු දෘෂ්ටධර්මසුඛවිහරණ ඇති සතර දැහැන් කැමැති සේ ලබන සුලු වෙයි. නිදුකින් ලබන සුලු වෙයි. විපුල කොට ලබන සුලු වෙයි. ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ චේතෝවිමුක්ති හා ප්රඥාවිමුක්ති හා දිටුදැමියෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට සමවැද වෙසේ. මහණෙනි, මෙසේ පුඟුල් මහණුන් කෙරෙහි ශ්රමණසුකුමාර වේ.