4. 2. 4. 5.
[තමෝතමපරායන සූත්‍රය]
35. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙති. කවර සතර දෙනෙක යත්:
තමෝ තමපරායනය (අඳුරෙන් අඳුරට යන), තමෝජෝතිපරායනය (අඳුරෙන් එළියට යන), ජෝති තමපරායනය (එළියෙන් අඳුරට යන), ජෝති ජෝතිපරායනය (එළියෙන් එළියට යන) - මේ පුද්ගලයෝ සතර දෙනය.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තමෝතමපරායන වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ අල්පාහාරපාන භෝජන ඇති සහදුක් දිවි වැටුම් ඇති දුකින් ආහාර වස්ත්‍ර ලබන සැඬල් කුලයෙහි වේව යි, කුළුපොතු කුලයෙහි වේවයි, වැදි කුලෙහි වේවයි, සොම්මර කුලෙහි වේවයි, පුප්සඬු කුලෙහි වේවයි - නීච කුලයෙක උපන්නේ වෙයි. හෙද දුර්වර්‍ණ වෙයි. අමනාප දර්‍ශන වෙයි. ලකුණ්ටක වෙයි. බහවාබාධ වෙයි. කණ හෝ වෙයි. වක් අත්පා ඇත්තේ හෝ වෙයි. කොර හෝ වෙයි. පිළු හෝ වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධ විලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ නොලබන සුලු වෙයි. හේ කයින් දුශ්චරිත කරන්නේ වෙයි. වචනයෙන් දුශ්චරිත කරන්නේ වෙයි. සිතින් දුශ්චරිත කරන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවශව පතිත වන නිරයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තමෝතමපරායන වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තමෝජෝතිපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ අල්පාන්නපාන භෝජන ඇති සහදුක් දිවිවැටුම් ඇති දුකසේ ආහාර වස්ත්‍ර ලබන සැඬල් කුලෙහි වේවයි, කුළුපොතු කුලෙහි වේවයි, වැදිකුලෙහි වේවයි, සොම්මර කුලෙහි වේවයි, පුප්සඬුකුලෙහි වේවයි - නීච කුලයෙක උපන්නේ වෙයි. හෙ ද දුර්වර්‍ණ වෙයි. මන නොවඩන දැකුම් ඇති වෙයි. ලකුණ්ටක වෙයි. බව්හාබාධ වෙයි. කණ හෝ වෙයි. වක් අත්පා ඇත්තේ හෝ වෙයි. කොර හෝ වෙයි. පිළු හෝ වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ නොලබන සුලු වේ. හේ කයින් සුචරිත කෙරෙයි. වචනයෙන් සුචරිත කෙරෙයි. සිතින් සුචරිත කෙරෙයි. හේ කයින් සුචරිත කොට වචනයෙන් සුචරිත කොට සිතින් සුචරිත කොට කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුගුල් තමෝජෝතිපරායන වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ජෝතිතමපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආඪ්‍ය වූ මහධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වස්තූපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල්කුලෙහි වේවයි, බමුණුමහසල්කුලෙහි වේවයි, ගෙහෙවි මහසල් කුලෙහි වේවයි - උතුම් කුලෙහි උපන්නේ වෙයි. හෙ ද අභිරූප වෙයි. දර්‍ශනීය වෙයි. ප්‍රාසාදික වෙයි. උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශයනාවසථ ප්‍රදීපෝපකරණ ලබන සුලු වෙයි. හේ කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කෙරෙයි. සිතින් දුශ්චරිත කෙරෙයි. හේ කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිත කොට සිතින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහ වූ නපුරු ගති ඇති විවශව පතිත වන නිරයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ජෝතිතමපරායන වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ජෝතිජෝතිපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආඪ්‍ය වූ මහත් ධන ඇති මහා භොග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වස්තූපකරණ ඇති, බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කුලෙහි වේවයි, බමුණුමහසල් කුලෙහි වේවයි, ගෙහෙවිමහසල් කුලෙහි වේවයි - උතුම් කුලයෙහි උපන්නේ වෙයි. හෙ ද අභිරූප වෙයි. දර්‍ශනීය වෙයි. ප්‍රාසාදික වෙයි. උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධ විලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ ලබන සුලු වෙයි. හේ කයින් සුචරිත කරයි. වචනයෙන් සුචරිත කරයි. සිතින් සුචරිත කරයි. හේ කයින් සුචරිත කොට වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට කාබුන් මරණින් මත්තෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ජෝතිජෝතිපරායන වෙයි.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන වෙති.
4. 2. 4. 6.
[ඔනතොනත සූත්‍රය]
36. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඔනතොනත (නීච-නීච) ය, ඔනතුන්නත (නීච-උත්තම) ය, උන්නතොනත (උත්තම-නීච) ය, උන්නතුන්නත (උත්තම-උත්තම) යි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ඔනතොනත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැඬල් කුලයෙහි වේවයි … නීචකුලෙයක උපන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. සිතින් දුශ්චරිත කරයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහව ගිය නපුරු ගති ඇති, විවසව පතිතවන, නිරයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල ඔනතොනත වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ඔනතුන්නත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැඬල්කුලෙහි වේවයි … නීචකුලෙයක උපන්නේ වෙයි. හේ කයින් සුචරිත කරයි, වචනයෙන් සුචරිත කරයි. සිතින් සුචරිත කරයි. හේ කයින් සුචරිත කොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට, කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල ඔනතුන්නත වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල උන්නතොනත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කැත්මහසල් කුලෙහි වේවයි … උතුම් කුලෙහි උපන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහව ගිය නපුරු ගති ඇති, විවසව පතිතවන නිරයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල උන්නතොනත වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල උන්නතුන්නත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කැත්මහසල් කුලෙහි වේවයි … උතුම් කුලෙහි උපන්නේ වෙයි. හේ කයින් සුචරිත කොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති, ස්වර්‍ගලෝකයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල උන්නතුන්නත වේ.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන වෙති.