4. 2. 4. 4.
[කෝධගරු සූත්‍රය]
34. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණැරැ තබන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
ක්‍රෝධගරුක වෙයි, සද්ධර්‍මගරුක නො වෙයි. ගුණමකුබව ගරු කොට ඇත්තේ වෙයි. සදහම් ගරු කොට නැත්තේ වෙයි. ලාභය ගරු කොට ඇත්තේ වෙයි. සද්ධර්‍මය ගරු කොට නැත්තේ වෙයි. සත්කාරය ගරු කොට ඇත්තේ වෙයි. සද්ධර්‍මය ගරු කොට නැත්තේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත පුද්ගල ගෙණ ඇරැ තැබුවක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණ ඇරැතැබුවක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
සදහම් ගරු කොට වසන්නේ ක්‍රෝධය ගරු කොට නොවසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ ගුණමකු බව ගරු කොට නො වසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ ලාභය ගරු කොට නො වසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ සත්කාරය ගරු කොට නො වසන්නේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත පුද්ගල ගෙණ ඇරැතැබුවක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්තය.
4. 2. 4. 5.
[තමෝතමපරායන සූත්‍රය]
35. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙති. කවර සතර දෙනෙක යත්:
තමෝ තමපරායනය (අඳුරෙන් අඳුරට යන), තමෝජෝතිපරායනය (අඳුරෙන් එළියට යන), ජෝති තමපරායනය (එළියෙන් අඳුරට යන), ජෝති ජෝතිපරායනය (එළියෙන් එළියට යන) - මේ පුද්ගලයෝ සතර දෙනය.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තමෝතමපරායන වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ අල්පාහාරපාන භෝජන ඇති සහදුක් දිවි වැටුම් ඇති දුකින් ආහාර වස්ත්‍ර ලබන සැඬල් කුලයෙහි වේව යි, කුළුපොතු කුලයෙහි වේවයි, වැදි කුලෙහි වේවයි, සොම්මර කුලෙහි වේවයි, පුප්සඬු කුලෙහි වේවයි - නීච කුලයෙක උපන්නේ වෙයි. හෙද දුර්වර්‍ණ වෙයි. අමනාප දර්‍ශන වෙයි. ලකුණ්ටක වෙයි. බහවාබාධ වෙයි. කණ හෝ වෙයි. වක් අත්පා ඇත්තේ හෝ වෙයි. කොර හෝ වෙයි. පිළු හෝ වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධ විලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ නොලබන සුලු වෙයි. හේ කයින් දුශ්චරිත කරන්නේ වෙයි. වචනයෙන් දුශ්චරිත කරන්නේ වෙයි. සිතින් දුශ්චරිත කරන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවශව පතිත වන නිරයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තමෝතමපරායන වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තමෝජෝතිපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ අල්පාන්නපාන භෝජන ඇති සහදුක් දිවිවැටුම් ඇති දුකසේ ආහාර වස්ත්‍ර ලබන සැඬල් කුලෙහි වේවයි, කුළුපොතු කුලෙහි වේවයි, වැදිකුලෙහි වේවයි, සොම්මර කුලෙහි වේවයි, පුප්සඬුකුලෙහි වේවයි - නීච කුලයෙක උපන්නේ වෙයි. හෙ ද දුර්වර්‍ණ වෙයි. මන නොවඩන දැකුම් ඇති වෙයි. ලකුණ්ටක වෙයි. බව්හාබාධ වෙයි. කණ හෝ වෙයි. වක් අත්පා ඇත්තේ හෝ වෙයි. කොර හෝ වෙයි. පිළු හෝ වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ නොලබන සුලු වේ. හේ කයින් සුචරිත කෙරෙයි. වචනයෙන් සුචරිත කෙරෙයි. සිතින් සුචරිත කෙරෙයි. හේ කයින් සුචරිත කොට වචනයෙන් සුචරිත කොට සිතින් සුචරිත කොට කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුගුල් තමෝජෝතිපරායන වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ජෝතිතමපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආඪ්‍ය වූ මහධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වස්තූපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල්කුලෙහි වේවයි, බමුණුමහසල්කුලෙහි වේවයි, ගෙහෙවි මහසල් කුලෙහි වේවයි - උතුම් කුලෙහි උපන්නේ වෙයි. හෙ ද අභිරූප වෙයි. දර්‍ශනීය වෙයි. ප්‍රාසාදික වෙයි. උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශයනාවසථ ප්‍රදීපෝපකරණ ලබන සුලු වෙයි. හේ කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කෙරෙයි. සිතින් දුශ්චරිත කෙරෙයි. හේ කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිත කොට සිතින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහ වූ නපුරු ගති ඇති විවශව පතිත වන නිරයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ජෝතිතමපරායන වෙයි.