4. 2. 3. 8.
[දක්ඛිණවිසුද්ධි සූත්‍රය]
28. මහණෙනි, මේ දක්‍ෂිණා විශුද්ධීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, දායකයන් මිස පිළිගාවන් (ප්‍රතිග්‍රාහකයන්) කෙරෙන් පිරිසිදු නොවන දක්‍ෂිණායෙක් ඇත. මහණෙනි, පිළිගාවන් මිස දායකයන් කෙරෙන් පිරිසිදු නොවන දක්‍ෂිණායෙක් ඇත. මහණෙනි, දායකයන් කෙරෙන් වේවයි, පිළිගාවන් කෙරෙන් වේවයි පිරිසිදු නො වන දක්‍ෂිණායෙක් ඇත. මහණෙනි, දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු වන දක්‍ෂිණායෙක් ඇත.
මහණෙනි, කෙසේ නම් දායකයන් මිස පිළිගාවන් කෙරෙන් පිරිසිදු නො වන දක්‍ෂිණාව වේ ය යත්: මහණෙනි, මෙ ලොව දායක සිල්වත් වෙයි. කලණ දහම් ඇත්තේ වෙයි. පිළිගාවෝ දුසිල් වෙත්, ලමු දහම ඇති වෙත්. මහණෙනි, මෙසේ දායකයන් මිස පිළිගාවත් කෙරෙන් පිරිසිදු නො වන දක්‍ෂිණාව වෙයි.
මහණෙනි, කෙසේ නම් පිළිගාවන් මිස දායකයන් කෙරෙන් පිරිසිදු නො වන දක්‍ෂිණාව වේ ය? මහණෙනි, මෙ ලොව දායක දුශ්ශීල වෙයි. පාපධර්‍ම වෙයි. පිළිගාවෝ සිල්වත් වෙති. කලණ දහම් ඇති වෙත්. මහණෙනි, මෙසේ පිළිගාවන් මිස දායකයන් කෙරෙන් පිරිසිදු නොවන දක්‍ෂිණාව වේ.
මහණෙනි, කෙසේ නම් දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු නො වන දක්‍ෂිණාව වේ ය? මහණෙනි, මෙ ලොව්හි දායක දුශ්ශීල වෙයි. ලමු දහම් ඇති වෙයි. පිළිගාවෝත් දුශ්ශීල වෙත්. ලමු දහම් ඇති වෙති. මහණෙනි, මෙසේ දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු නො වන දක්‍ෂිණාව වේ.
මහණෙනි, කෙසේ නම් දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු වන දක්‍ෂිණාව වේ ය? මහණෙනි, මෙ ලොව දායක සිල්වත් වෙයි, කලණ දහම් ඇති වෙයි. පිළිගාවෝත් සිල්වත් වෙති, කලණ දහම් ඇති වෙත්. මහණෙනි, මෙසේ දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු වන දක්‍ෂිණාව වෙයි.
මහණෙනි, මේ දක්‍ෂිණා විශුද්ධීහු සතර දෙනා වෙති.
4. 2. 3. 9.
[වණිජ්ජා සූත්‍රය]
29. එකල ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව ඇතැමකු විසින් එවන් (ප්‍රසිද්ධ) වෙණෙදාමෙක් යොදන ලද්දේ ඡේදගාමී (බිඳෙනසුලු) වේ ද, එයට හේතු කවරේ ය, ප්‍රත්‍යය කවරේය? වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව ඇතැමකු විසින් එවන් වණික්කර්‍මයෙක් පටන්ගන්නා ලද්දේ අදහස් පරිද්දෙන් නො වේ ද, එයට හේතු කවරේ ය, ප්‍රත්‍යය කවරේ ය?
වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව ඇතැමකු විසින් එවන් (ප්‍රසිද්ධ) වණික්කර්‍මයෙක් පටන් ගන්නා ලද්දේ අදහස් පරිදි වේ ද, එයට හේතු කවරේය? ප්‍රත්‍යය කවරේ ය? වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව ඇතැමකු විසින් එවන් වණික් කර්‍මයෙක් අරඹන ලද්දේ අධිප්‍රායයෙන් අධිකතර (ඵල ඇති) වේ ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?
ශාරීපුත්‍රය, මෙ ලොව ඇතැමෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ, ‘වහන්ස, ප්‍රත්‍යයයෙන් දන්වන්නේ ය’යි පවරයි. හෙතෙම යමෙකින් පවරා ද ඒ නො දෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට එ යි නම්, හේ යම් ම වණික්කර්‍මයක් අරඹා ද, ඔහුගේ ඒ කර්‍මය ඡේදගාමී වෙයි.
ශාරීපුත්‍රය, මෙ ලොව ඇතැමෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ, ‘වහන්ස, ප්‍රත්‍යයයෙන් බණව’ යි පවරයි. හේ යමෙකින් පවරා නම් එය අදහස් පරිදි නොදෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට ආ නම්, හේ යම් ම වෙණෙදාමක් අරඹා ද, ඔහුගේ ඒ වෙණෙදාම අදහස් පරිදි නො වේ.
ශාරීපුත්‍රය, මෙ ලොව ඇතැමෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ, ‘වහන්ස, ප්‍රත්‍යයයෙන් රුස්නේ ය’යි පවරයි. හේ යමෙකින් පවරා නම් එය අදහස් පරිදි දෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට පැමිණේ නම්, හේ යම් ම වණිජ්ජාවක් අරඹා ද, ඔහුගේ ඒ වණිජ්ජාව අදහස් පරිදි වේ.
ශාරීපුත්‍රය, මෙ ලොව ඇතැමෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ, ‘වහන්ස, ප්‍රත්‍යයයෙන් කියව’ යි පවරයි. හේ යමෙකින් පවරා ද, එය අධිප්‍රායට වැඩිතරම් කොට දෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට එළඹේ නම්, හේ යම් ම වාණිජ්‍යයක් කෙරේ නම්, ඔහුගේ ඒ වාණිජ්‍යය අධිප්‍රායයෙන් අධිකතර වෙයි.
ශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැමකු විසින් එවන් වණිජ්ජාවක් අරඹන ලද්දී ඡේදගාමිනී වේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
ශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැමකු විසින් එවන් වණිජ්ජාවක් පටන් ගන්නා ලද්දී, අදහස් පරිදි නො වේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
ශාරීපුත්‍රය, මෙලොව ඇතැමකු විසින් එවන් වණිජ්ජාවක් යොදන ලද්දී අදහස් තුබූ පරිදි වේ ද, මේ එයට හෙතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
ශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැමකු විසින් එවන් වණිජ්ජාවක් ප්‍රයුක්ත වූවා අධිප්‍රායයෙන් අධිකතර ඵල වේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.