3. අපණ්ණක වර්‍ගය
4. 2. 3. 1.
[පධාන - අපණ්ණකපටිපදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස කරුණු ද ඔහුට සම්පූර්‍ණ වෙයි. කවර සතර දහමින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. බහුශ්‍රුත වෙයි. රුකුළු වැර ඇතියේ වෙයි. පැණැතියේ වෙයි.
මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස ඔහු විසින් හේතු ද ආරද්ධ වෙයි.
4. 2. 3. 2.
[දිට්ඨි - අපණ්ණකපටිපදා සූත්‍රය]
22. මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස හේතු ද ඔහු විසින් ආරද්ධ වෙයි. කවර සතර දහමින යත්:
නෛෂ්ක්‍රම්‍ය විතර්‍කයෙන, අව්‍යාපාද විතර්‍කයෙන, අවිහිසංසා විතර්‍කයෙන, සම්‍යග්දෘෂ්ටියෙනැ යි.
මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස හේතු ද ඔහු විසින් ආරද්ධ වෙයි.
4. 2. 3. 3.
[අසප්පුරිස - වධුකා සූත්‍රය]
23. මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත වූයේ අසත්පුරුෂය යි දතයුතු ය. කවර සතර දහමින යත්:
මහණෙනි, මෙලොව්හි අසත්පුරුෂ මෙරමාගේ යම් අගුණයෙක් ඇත් ද, එය නො පුළුවුස්නා ලද්දේත් පහළ කෙරෙයි. පුළුවුස්නා ලද්දහු පිළිබඳ ව කවර කථාය. පුළුවුස්නා ලද්දේ ප්‍රශ්න පිණිස එළවන ලදුව නො පිරිහෙළා නො වසා පරිපූර්‍ණ කොට විස්තර විසින් මෙරමාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් අසත්පුරුෂය යි තෙල දත යුතුය.
තවද මහණෙනි, අසත්පුරුෂ මෙරමාගේ යම් ගුණෙයෙක් ඇත් ද, එය විචාරණ ලදුයේත් පාළ නො කෙරෙයි. නො විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්න පිණිස එළවන ලද්දේ පිරිහෙළා වසා අපරිපූර්‍ණ කොට, නො විතරින් මෙරමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් අසත්පුරුෂය යි තෙල දත යුතුය.
තවද මහණෙනි, අසත්පුරුෂ තමාගේ යම් අගුණයෙක් ඇත් ද, එය පුළුවුස්නා ලද්දේත් පාළ නො කෙරෙයි. නොපුළුවුස්නා ලද්දහු පිළිබඳ ව කවර කථාය. පුළුවුස්නා ලද්දේ ප්‍රශ්නයට කැඳවන ලද්දේ පිරිහෙළා වසා අපරිපූර්‍ණ කොට නො විතර විසින් තමාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් අසත්පුරුෂය යි තෙල දත යුතුය.
තව ද මහණෙනි, අසත්පුරුෂ තමාගේ යම් ගුණෙයෙක් ඇත් ද, එය නො විචාරණ ලද්දේත් පහළ කෙරෙයි. විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. පුළුවුස්නා ලද්දේ ප්‍රශ්නයට පෙරට ගන්නා ලද්දේ නො පිරිහෙළා නො වසා පරිපූර්‍ණ කොට විස්තර විසින් තමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් අසත්පුරුෂ ය යි තෙල දත යුතුය.
මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත වූයේ අසත්පුරුෂ යයි දත යුතුයි.
මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත වූයේ සත්පුරුෂ ය යි දත යුතුය. කවර සතර දහමින යත්:
මහණෙනි, මෙ ලොව්හි සත්පුරුෂ මෙරමාගේ යම් අගුණයෙක් ඇත් ද, එය විචාරණ ලද්දේත් පහළ නො කෙරෙයි. නො විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්නයට පෙරට ගන්නා ලද්දේ පිරිහෙළා වසා අපරිපූර්‍ණ කොට නො විතර විසින් මෙරමාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් සත්පුරුෂය යි තෙල දතයුතුය.
තවද මහණෙනි, සත්පුරුෂ මෙරමාගේ යම් ගුණයෙක් ඇත් ද, එය නො විචාරණ ලද්දේත් පහළ කෙරෙයි. විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්නයට ඉදිරිපත් කරණ ලද්දේ නො පිරිහෙළා නො වසා පරිපූර්‍ණ කොට විස්තර විසින් මෙරමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් සත්පුරුෂ ය යි තෙල දතයුතුය.
තවද මහණෙනි, සත්පුරුෂ තමාගේ යම් අගුණයෙක් ඇත් ද, එය නො විචාරණ ලදුවත් පහළ කෙරෙයි. විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්නයට නඟාගන්නා ලද්දේ නො පිරිහෙළා නො වසා පරිපූර්‍ණ කොට විස්තර විසින් තමාගේ අගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් සත්පුරුෂය යි තෙල දතයුතුය.
තවද මහණෙනි, සත්පුරුෂ තමාගේ යම් ගුණයෙක් ඇත් ද, එය විචාරණ ලද්දේත් පහළ නො කෙරෙයි. නො විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්නයට මතු කොට ගන්නා ලද්දේ පිරිහෙළා වසා අපරිපූර්‍ණ කොට නො විතර විසින් තමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් සත්පුරුෂය යි තෙල දත යුතුය.
මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත වූයේ සත්පුරුෂ යයි දත යුතුයි.
මහණෙනි, යම් පරිදි වධුකාවක් (අලුත විවාපත් කතක්) යම් ම රැයෙක හෝ දවසෙක හෝ කැඳවා ගෙණෙන ලදු වූ ද, ආ අලුත ඇයට නැන්දණියන් කෙරෙහි දු මයිලනුවන් කෙරෙහි දු සමුනන් කෙරෙහි දු යටත් පිරිසෙයින් දස්කම්කරුපුරිස් කෙරෙහි දු තියුණු විලිබිය එළඹ සිටියේ වෙයි. ඕ පසුකල සහවාසයට ගොස් විශ්වාසයට ගොස් නැන්දණියනට ද මයිලනුවනට ද සමුනනට ද මෙසේත් කියයි: ඉවත යා, තෙපි කුමක් දන්නාව යි.