4. 2. 3. 5.
[දුතිය අග්ග සූත්රය]
25. මහණෙනි, මේ අග්රයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
රූපාග්රය, වේදනාග්රය, සංඥාග්රය, භවාග්ර යි.
මහණෙනි, මේ සතර අග්රයෝ යි.
4. 2. 3. 6.
[කුසිනාරා සූත්රය]
26. එක් කලෙක භාග්යවතුන් වහන්සේ පිරිනිවන් වදනා සෙමෙහි කුසිනාරා නුවර උපවත්තන නම් වූ මල්යරජුන්ගේ සල්උයනෙහි යමකශාලයන් අතර වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක: ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවත්හට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, එක් මහණක්හට දු බුදුන් කෙරෙහි වේවයි දහම් කෙරෙහි වේවයි සඟුන් කෙරෙහි වේවයි මාර්ගය කෙරෙහි වේවයි පිළිවෙත කෙරෙහි වේවයි විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ ඇත් ද, මහණෙනි, පුළුවුස්ව. “අපට ශාස්තෘන් වහන්සේ සම්මුඛ වූහ. හමුයෙහි ලා බුදුන් පුළුවුස්නට නොහැකිවූම්හ” යි පසුව විපිළිසර නොවා යි. මෙසේ වදාළ කල්හි ඒ මහණහු නිශ්ශබ්ද වූහු.
දෙවනවටත් භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, එක් මහණක්හටත් බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ සැකයෙක් හෝ ඇත් ද, මහණෙනි, පුළුවුස්ව. “අපට ශාස්තෘන් වහන්සේ සම්මුඛ වූහ. හමුයෙහි දී බුදුන් පුළුවුස්නට නොහැකි වූම්හ” යි පසුව විපිළිසර නොවා යි. දෙවනවටත් ඒ මහණහු නිශ්ශබ්ද වූහු.
තෙවනවටත් භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, එක් මහණක්හටත් බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ ඇත් ද, මහණෙනි, පුළුවුස්ව. “ශාස්තෘන් වහන්සේ අපට සම්මුඛ වූහ. හමුයෙහි දී බුදුන් පුළුවුස්නට නොහැකි වූම්හ” යි පසුව විපිළිසර නොවව යි. තෙවනවටත් ඒ භික්ෂූහු නිහඬ වූහු.
එක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, ශාස්තෘගෞරවයෙනුත් නොපුළුවුස්නහු නම්, මහණෙනි, යහළුවකු යහළුවකුට කියන්නේය යි වදාළහ. මෙසේ වදාළ කල්හිත් ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහු.
එසඳ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ආශ්චර්ය්යය, වහන්ස, අද්භූතය, වහන්ස, මම මේ බික්සඟුන් කෙරෙහි මෙසේ හදහමි. “මේ බික්සඟුන් කෙරෙහි එක් මහණක්හට ද බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ නැතැ”යි.
ආනන්දය, තෝ සැදැහැයෙන් කියහි. ආනන්දය, මේ බික්සඟුන් කෙරෙහි එක් මහණක්හටත් බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ නැත යනු මෙහි තථාගතයන්ගේ ඥානය මැ වෙයි.
ආනන්දය, මේ පන්සියක් භික්ෂූන් අතර යම් හැමට සග මහණෙක් ඇත් ද, හේ සෝවන් වෙයි. අවිනිපාතධර්ම ඇත. නියතය, සම්බෝධිපරායන යි.
4. 2. 3. 7.
[අචින්තෙය්ය සූත්රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, යම් කරුණු සිතනුයේ උමතුබවට දුකට හිමි වේ ද, එබඳු වූ සිතන්නට නොයුතු එහෙයින් ම නොසිතියයුතු මේ සතර කරුණුය. කවර සතර කරුණුය යත්:
මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේ ද, එබඳු වූ බුදුවරුන් පිළිබඳ බුද්ධවිෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ ධ්යායීහු පිළිබඳ ධ්යානවිෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ කර්මවිපාකය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ ලෝකචින්තාව සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
මහණෙනි, යම් බඳු කරුණු සිතනුයේ උමතු බවට දුකට හිමි වේ ද, එබඳු වූ සිතන්නට නොයුතු එහෙයින් ම නොසිතිය යුතු මේ සතර කරුණු යි.