4. 2. 3. 10.
[කම්බෝජ සූත්‍රය]
30. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසැඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
වහන්ස, යම් හෙයෙකින් මාගම විනිශ්චය සභායෙහි නො හිඳී ද, කර්‍මාන්ත නො කෙරේද, පිටරට නො යේද, එයට හේතු කවරේ ය, එයට ප්‍රත්‍යය කවරේ ය?
ආනන්‍දය, මාගම කිපෙන සුලුය. ආනන්‍දය, මාගම ඊර්‍ෂ්‍යා ඇත්තියක. ආනන්‍දය, මාගම මසුරු ඇත්තියක. ආනන්‍දය, මාගම නුවණ නැත්තියක.
ආනන්‍දය, යම් හෙයෙකින් මාගම විනිශ්චය සභායෙහි නො හිඳී ද, කර්‍මාන්ත නො කෙරේ ද, පිටරට නො යේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
අපණ්ණක වර්‍ගය තෙවැනි යි.
එහි උද්දානය:
පධාන - දිට්ඨි අපණ්ණක සූත්‍ර දෙකය, අසප්පුරිස - වධුකා සූත්‍රය, අග්ග සූත්‍ර දෙකය, කුසිනාරා සූත්‍රය, අචින්තෙය්‍ය සූත්‍රය, දක්ඛිණා සූත්‍රය, වණිජ්ජා සූත්‍රය, කම්බෝජ සූත්‍රයෙනැ යි වර්‍ගය වේ.
4. මචල වර්‍ගය
4. 2. 4. 1.
[පාණාතිපාතී සූත්‍රය]
[සැවැත්නිදාන යි.]
31. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි බහන ලද්දේ වෙයි.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි බහා තබන ලද්දේ වෙයි.
4. 2. 4. 2.
මුසාවාදී සූත්‍රය
32. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් පරිද්දෙන් නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර සතර කරුණෙන යත්:
මුසවා බණන සුලු වෙයි. පිසුණුබස් ඇතියේ වෙයි. කැකුළු බස් ඇතියේ වෙයි. පලප් ඇතියේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහා තබන ලද්දක් පරිද්දෙන් නිරයෙහි නික්‍ෂිප්ත ය.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් පරිද්දෙන් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුනුබසින් දුරුවූයේ වෙයි. කැකුළුබසින් දුරුවූයේ වෙයි. පලප්බසින් දුරුවූයේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහා තබන ලද්දක් පරිද්දෙන් ස්වර්‍ගයෙහි බැහුනේ වෙයි.
4. 2. 4. 3.
[වණ්ණ සූත්‍රය]
33. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණැර තැබුවක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
නො විමසා නො බැස ගෙණ වර්‍ණනාර්‍හ නො වන්නහුගේ ගුණ කියයි. නො විමසා නො බැස ගෙණ වර්‍ණනාර්‍හයාගේ අගුණ කියයි. නො විමසා නො බැස ගෙණ නො පැහැදිය යුතු කරුණෙහි පහදියි. නො විමසා නො බැසගෙන පැහැදිය යුතු කරුණෙහි නො පහදියි.