4. 2. 1. 4.
[දුතිය සංවාස සූත්‍රය]
4. මහණෙනි, මේ සංවාසයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ලමු වූයේ ලමු වූවක හා සමග වෙසෙයි. ලමු වූයේ දෙව්දුවක හා සමග වෙසෙයි. දෙවි වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි. දෙවිවූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි.
මහණෙනි, කෙසේ ලමු වූයේ ලමු වූවක හා සමග වෙසේ ද? මහණෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ, අයිනාදන් ගන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, පෙහෙසුන් බස් ඇත්තේ, පරොස්බස් ඇත්තේ, පලප් බස් ඇත්තේ, දළ ලොබ බහුල කොට ඇත්තේ, ව්‍යාපාද යුත් සිතැත්තේ, මිසදිටු වූයේ වෙයි. දුසිල් වූයේ, පවිටු දහම් ඇතියේ, වැළඳගත් මසුරු මලැති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධ කරන්නී, අයිනාදන් ගන්නී, කාමයෙහි වරදවා හැසිරෙන්නී, මුසවා බණන්නී, පෙහෙසුන් තෙපලන්නී, පරොස් බස් තෙපලන්නී, පලප් බස් දොඩන්නී, දැඩිලොබ බහුල කොට ඇත්තී, ව්‍යාපාදයට පත් සිතැත්තී, මිසදිටු ඇත්තී වෙයි. දුසිල් වූවා පවිටු දහම් ඇත්තී, වැළද ගත් මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් බණන්නී වෙයි. මහණෙනි, මෙ පරිදි ලමු වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි.
මහණෙනි, කෙසේ ලමු වූයේ දෙව්දුවක හා සමග වෙසේ ද? මහණෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ, ... මිසදිටු වූයේ පවිටු දහම් ඇත්තේ වෙයි. දුසිල් වූයේ, වැළඳගත් මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් බණන්නේ වෙයි. ඔහුගේ බිරිය ප්‍රාණවධයෙන් වැළකියා, අයිනාදනින් වැළකියා, කාමයෙහි මිසහසරින් වැළකියා, මුසවායෙන් වැළකියා, පෙහෙසුනෙන් වැළකියා, පරොස් බසින් වැළකියා, පලපින් වැළකියා, බිහිලි දළ ලොබින් වැළකියා, ව්‍යාපායට නො ගිය සිතැත්තී සම්දිටු ඇත්තී වෙයි. සිල්වත් වූවා, කලණ දහම් ඇත්තී, පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වුසූ වෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් නො බණන්නී වෙයි. මහණෙනි, මෙ පරිදි ලමු වූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි.
මහණෙනි, කෙසේ දෙවිවූයේ ලමුවූවක හා සමග වෙසේ ද? මහණෙනි, මෙලොව සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ, අයිනාදනින් වැළකුනේ, කාමයෙහි මිසහසරින් වැළකුනේ, මුසවායෙන් වැළකුනේ, පෙහෙසුනින් වැළකුනේ, පරොස් බසින් වැළකුනේ, පලපින් වැළකුනේ, දැඩි ලොබ බිහිලි කොට නැත්තේ, ව්‍යාපාදයට නොපත් සිත් ඇත්තේ, සම්දිටු ඇත්තේ වෙයි. සිල්වත් වූයේ කලණ දහම් ඇත්තේ පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසේ. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් නො බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ප්‍රාණවධ කරන්නී, ... මිසදිටු ඇත්තී වෙයි. දුසිල් වූවා, පවිටු දහම් ඇත්තී, වැළඳගත් මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙර දැරි බස් බණන්නී වෙයි. මහණෙනි, මෙ පරිදි දෙවිවූයේ ලමුවූවක හා එක්ව වෙසෙයි.
මහණෙනි, කෙසේ දෙවිවූයේ දෙව්දුවක හා එක්ව වෙසේ ද? මහණෙනි, මෙලොව සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ, ... සම්දිටු ඇත්තේ වෙයි. සිල්වත් වූයේ කලණ දහම් ඇත්තේ පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් නො බණන්නේ වෙයි. ඔහුගේ බිරිය ද ප්‍රාණවධයෙන් වැළකියා ... සම්දිටු ඇත්තී වෙයි. සිල්වත් වූවා කලණ දහම් ඇත්තී පැහු මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් නොබණන්නී වෙයි. මහණෙනි, මෙපරිදි දෙවිවූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි. මහණෙනි, මේ සතර සහවාසයෝ යි.
12. දෙමහල්ලෝ ම දුසිල් වූවාහු, තදමසුරු වූවාහු නින්‍දාපෙරදැරි බස් බණන්නාහු වෙත් ද, ඒ අඹුසැමි දෙදෙනා ලමු ව සහවාසයට ගියාහු වෙත්.
13. සැමි දුසිල් වෙයි, තද මසුරු වෙයි, නින්‍දා පෙරදැරි කොට බණන්නේ වෙයි. බිරිය සිල්වත් වෙයි, දන්කලු වෙයි, පැහූ මසුරුමල ඇත්තී වෙයි. ඒ දෙවිය ලමු සැමියා හා එක්ව වෙසෙයි.
14. සැමි සිල්වත් වෙයි. දන්කලු වෙයි. පැහු මසුරුමල ඇති වෙයි. බිරිය දුසිල් වෙයි, තදමසුරු වෙයි, නින්‍දා පෙරදැරි බස් බණන්නී වෙයි. හො ද ලමු වූවා දෙවි වූ හිමියා හා එක්ව වෙසෙයි.
15. දෙදෙන ම සැදැහැති ව, දන්කලු ව ශීලසංයම ඇති ව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙත්.
16. සමසිල් ඇති, ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රවුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්.
17. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොව දී කාමසම්පත් කැමති වන්නාහු මුදිත වෙත්.
4. 2. 1. 5.
[පඨම (නකුල) සමජීවී සූත්‍රය]
5. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාරගිරි නුවර භෙසකලාවන නම් (මිහිඟගස් ඇති) මුවලැව්හි වැඩ වෙසෙති. එක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ නකුලපිතු ගැහැවියාගේ නිවෙස කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි වැඩහුන්හ.