4. 2. 1. 5.
[පඨම (නකුල) සමජීවී සූත්‍රය]
5. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාරගිරි නුවර භෙසකලාවන නම් (මිහිඟගස් ඇති) මුවලැව්හි වැඩ වෙසෙති. එක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ නකුලපිතු ගැහැවියාගේ නිවෙස කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි වැඩහුන්හ.
එක්බිති නකුලපිතු ගැහැවි හා නකුලමාතු ගැහැවිදූ හා දෙදෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් නකුලපිතු ගෙහෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය.
වහන්ස, යම් කලෙක තරුණවියෙහි සිටි මට තුරුණුවියෙහි සිටි නකුලමාතු ගැහැවිදූ පරිනීත වූ ද, එතැන් සිට නකුලමාතු ගැහැවිදුව සිතින් පවා ඉක්ම ගියෙම් නොදනිමි. කයින් වනාහි කියනු කිම! වහන්ස, අපි දෙදෙනමෝ මෙලොව්හිදු උනුන් දක්නට පරලොව් හි දු උනුන් දක්නට කැමැතියම්හ යනුයි.
නකුලමාතු ගැහැවිදූ ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා: වහන්ස, යම් කලෙක තරුණවියෙහි සිටි මම තරුණවියෙහි සිටි නකුලපිතු ගැහැවිහට ගෙණෙන ලදුම් ද, නකුලපිතු ගැහැවියා සිතින් පවා ඉක්ම ගියෙම් නොදනිමි. කයින් වනාහි කියනු කිම! වහන්ස, අපි දෙදෙනමෝ මෙලොව්හි ද උනුන් දක්නට පරලොව්හි දු උනුන් දක්නට කැමැතියම්හ යනුයි.
ගැහැවිකුලවැසියෙනි, ඉදින් අඹුසැමි දෙදෙන මෙලොව්හි ද උනුන් දක්නට පරලොව්හි ද උනුන් දක්නට කැමැති වන්නහු නම් දෙදෙන ම සමසැදැහැ ඇතියාහු නම් සම සිල් ඇතියාහු නම් සමත්‍යාග ඇතියාහු නම් සමප්‍රඥා ඇතියාහු නම් ඔහු දෙදෙන මෙලොව්හි ද උනුන් දක්නාහ. පරලොව්හි ද උනුන් දක්නාහ.
18. දෙදෙන ම සැදැහැතිව, දන්කලු ව ශීලසංයම ඇතිව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙති.
19. සමසිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රචුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්.
20. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොව දී කාමසම්පත් කැමැති වන්නාහු මුදිත වෙත්.
4. 2. 1. 6.
[දුතිය (නකුල) සමජීවී සූත්‍රය]
6. මහණෙනි, ඉදින් අඹුසැමිහු දෙදෙනා මෙලොව්හිත් පරලොව්හිත් උනුන් දක්නට කැමති වන්නාහු නම් දෙදෙන ම සම සැදැහැ සමසිල් සමත්‍යාග සමප්‍රඥා ඇතිවන්නාහුය. ඔහු දෙදෙන මෙලොව්හි ද පරලොව්හි ද උනුන් දක්නාහ.
21. දෙමහල්ලෝ ම සැදැහැතිව, දන්කලු ව, ශීලසංයම ඇති ව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙති.
22. සම සිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රචුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්.
23. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොවදී කාමසම්පත් කැමැති වන්නාහු මුදිත වෙත්.