4. 1. 5. 8.
[විසාඛ සූත්‍රය]
48. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛ තෙරණුවෝ උපස්ථාන ශාලායෙහිදී පිරිපුන් වචන ඇති, අපළිබුද්ධ, කෙළතොලු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වා බෙණෙයි. සමාදන් කරවයි. තෙද ගන්වා බෙණෙ යි. පහදවයි.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැගී සිටි සේක් උවටැන්හලට වැඩි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, උපස්ථාන ශාලායෙහි දී කවරෙක් නම් පිරිපුන් වචන ඇති, නොපැකිල ගලාබස්නා හෙයින් විසෘත්‍වර වූ, කෙළතොලු නොවූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වා බෙණේ ද, සමාදන් කරවා ද, තෙද ගන්වා බෙණේ ද, පහදවා ලයි ද?
වහන්ස, පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛතෙරණුවෝ උපස්ථාන ශාලායෙහි දී පිරිපුන් තෙපුල් ඇති, ගලා බස්නා හෙයින් විසෘත්‍වර වූ, කෙළෙතොළු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නොකළ, දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වා බෙණෙත්. සමාදන් කරවත්. තෙද ගන්වා බෙණෙත්. පහදවා ලත්.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛ තෙරුන්හට තෙල වදාළ සේක: “මැනව, මැනව, විසාඛයෙනි, විසාඛයෙනි, මැනව. තෙපි පිරිපුන් බස් ඇති, ගලාබස්නා වදන් ඇති, කෙළතොලු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වා බණව, සමාදන් කරව, තෙද ගන්වා බණව, පහදවා ලවයි වදාළහ.
119. බාලයන් හා මිශ්‍ර වාස ඇති, දැහැමි බස් නො බණන, පණ්ඩිතයා (පණ්ඩිතයෝ) නොදනිත්, නිර්‍වාණපදය (නවවිධලෝකෝත්තරධර්‍මය) දෙසන, දැහැමි කථා බණන්නහු (පණ්ඩිතයෝ) දනිත්.
120. ධර්‍මය බණන්නේය, බබුළුවන්නේය. ඍෂිධ්වජය (ලොවුතුරුදහම) නගා බණන්නේය. ඍෂීහු සුභාෂිත ධ්වජ ඇතියහ. ධර්‍මය වනාහි ඍෂීන්ගේ ධ්වජ යි.
4. 1. 5. 9.
[විපල්ලාස සූත්‍රය]
49. මහණෙනි, සංඥාවිපර්‍ය්‍යාසයෝ චිත්තවිපර්‍ය්‍යාසයෝ දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, අනිත්‍යවස්තුයෙහි, ‘මේ නිත්‍ය ය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, දුඃඛයෙහි, ‘මේ සුඛය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, අනාත්මයෙහි, ‘මේ ආත්මය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, අශුභයෙහි, ‘මේ ශුභය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, මොහු සතර දෙන සංඥාවිපර්‍ය්‍යාස වෙති, චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද වෙති.
මහණෙනි, සංඥාවිපර්‍ය්‍යාස නොවන, චිත්තවිපර්‍ය්‍යාස නොවන, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නොවන මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, අනිත්‍යවස්තුයෙහි, ‘මේ අනිත්‍යය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ. මහණෙනි, දුඃඛයෙහි, ‘මේ දුඃඛය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ. මහණෙනි, අනාත්මයෙහි, ‘මේ අනාත්මය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ. මහණෙනි, අශුභයෙහි, ‘මේ අශුභය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ.
මහණෙනි, මොහු සතර දෙන සංඥාවිපර්‍ය්‍යාස නොවෙති, චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වෙත්.
121. අනිත්‍යවස්තුයෙහි (සංඥාවිපර්‍ය්‍යාස වශයෙන්) නිත්‍ය සංඥා ඇති, දුඃඛයෙහි සුඛසංඥා ඇති, අනාත්මයෙහි ආත්මය යි දත් සංඥා ඇති, අශුභයෙහි ශුභසංඥා ඇති,
122. දෘෂ්ටිවිපර්‍ය්‍යාසවශයෙන් මිත්‍යාදෘෂ්ටියට වැටුනු (චිත්තවිපර්‍ය්‍යාස වශයෙන්) වික්‍ෂිප්ත සිත් ඇති, (මෙසේ) විපරීතසංඥාදිය ගත්, යෝගයෙන් ක්‍ෂේමය නො ලත්, ජනසඞ්ඛ්‍යාත ඒ සත්ත්‍වයෝ මාරයාගේ යෝගයෙහි යුක්ත වූවාහු වෙත්.
123. ජාතිමරණ කරා යන සුලු ඒ සත්හු සසර ඇවිදිති. යම් කලෙක ලෝකයෙහි නැණ එළිය කරණ චතුස්සත්‍යබුද්ධයෝ පහළ වෙත් ද,
124. ඒ බුදුවරු දුක් සන්හිඳුවන සුලු මේ සිවුසස් දහම් පවසත්. ඒ ප්‍රාඥයෝ ඔවුන්ගේ දහම් අසා ස්වකීය චිත්තය (නො කිලිටි සිත) ලැබ,
125. අනිත්‍යය අනිත්‍ය විසින් දුටහ. දුක දුක් විසින් දුටහ. අනාත්මය අනාත්ම විසින් දුටහ. අශුභය අශුභ විසින් දුටහ. මෙසේ සම්‍යග් දර්‍ශනය ගැණීමෙන් සියලු සසර දුක් ඉක්ම ගියහ.
4. 1. 5. 10.
[උපක්කිලේස සූත්‍රය]
50. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නොබබළත් ද, සඳහිරු දෙදෙනාගේ ඒ මේ උපක්ලේශයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නොබබළත් ද, වලාකුළ සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, හිම සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, ධූම-රජස් සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, රාහු අසුරෙන්‍ද්‍ර සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශයෝ මේ සතර දෙනා වෙති.