5. රෝහිතස්ස වර්ගය
4. 1. 5. 1.
[සමාධිභාවනා සූත්රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මේ සමාධිභාවනාවෝ සතරදෙනෙකි. කවර සතර දෙනෙකයත්:
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් දුටුධැමි සුවවෙහෙර පිණිස පවත්නේ වෙයි.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් දිව්යචක්ෂුර්ඥානදර්ශනප්රතිලාභය පිණිස පවත්නේ වෙයි.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් ස්මෘතිසම්ප්රඥානය පිණිස පවත්නේ වෙයි.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් ආස්රවක්ෂය පිණිස පවත්නේ වෙයි.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද දුටුධැමි සුවවෙහෙර පිණිස පවත්නා සමාධිභාවනා කවර?
මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන් කෙරෙන් වෙන්ව ම ... චතුර්ත්ථධ්යානයට සමවැද වෙසෙයි. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද මෙ සමාධිභාවනාව දෘෂ්ටධර්මසුඛවිහරණය පිණිස පවත්නී ය යි කියනු ලැබේ.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද කවර සමාධිභාවනායෙක් ඥානදර්ශනප්රතිලාභය පිණිස පවත්නේ ද?
මහණෙනි, මෙසස්නෙහි මහණ ආලෝකසංඥාව මෙනෙහි කෙරෙයි. මෙසේ විවෘත වූ නො වැළඳුනු සිතින් දිවාසංඥාව ඉටයි. දවහල් ආලෝකසංඥාව යම් පරිදි ද රැය ද එපරිදි ම ය. රැය යම් පරිදි ද දවහලත් එපරිදි ම ය. දිව්යචක්ෂුර්ඥානයෙන් ආලෝක සහිත සිත වඩයි. මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ මේ සමාධිභාවනාව ඥානදර්ශනප්රතිලාභය පිණිස පවත්නී ය.
මහණෙනි, භාවිත බහුලීකෘත කවර සමාධිභාවනායෙක් ස්මෘතිසම්ප්රඥානය පිණිස පවත්නේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණහට වේදනාවෝ ප්රකටව උපදිත්. ප්රකටව වටහත්. ප්රකටව අස්තයට යෙත්. සංඥාවෝ ප්රකටව විතර්කයෝ ප්රකටව උපදිත්. ප්රකටව වටහත්. ප්රකටව අස්තයට යෙත්. මහණෙනි, භාවිත බහුලීකෘත වූ මේ සමාධිභාවනාව ස්මෘතිසම්ප්රඥානය පිණිස පවත්නී ය.
මහණෙනි, භාවිත බහුලීකෘත කවර සමාධිභාවනායෙක් ආස්රවක්ෂය පිණිස පවත්නේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්ච උපාදානස්කන්ධයෙහි උදා - විය අනුව බලනුයේ වෙසෙයි: මෙසේ රූපය, මෙසේ රූපසමුදයය, මෙසේ රූපයාගේ අස්තඞ්ගමය. මෙසේ වේදනාය, මෙසේ වේදනාසමුදයය, මෙසේ වේදනාවගේ අස්තඞ්ගමය. මෙසේ සංඥාය, මෙසේ සංඥාසමුදයය, මෙසේ සංඥාවගේ අස්තඞ්ගමය. මෙසේ සංස්කාරය, මෙසේ සංස්කාරසමුදයය, මෙසේ සංස්කාරයන්ගේ අස්තඞ්ගමය. මෙසේ විඥානය, මෙසේ විඥානසමුදයය, මෙසේ විඥානයාගේ අස්තඞ්ගමය කියා යි. මහණෙනි, භාවිත බහුලීකෘත මේ සමාධිභාවනාව ආස්රවක්ෂය පිණිස පවත්නී ය.
මහණෙනි, මේ සතර සමාධි භාවනාවෝ යි.
මහණෙනි, මා විසින් “පාරායනයෙහි පුණ්ණකප්රශ්නයෙහි” දී (සඞ්ඛාය ලෝකස්මිං - යනාදි) තෙල ගයෙක් වදාරණ ලද ද, මේ-ඵලසමාපත්තිය සඳහා වදාරණ ලදී:
104. සත්ත්වලෝකයෙහි උත්තමාධමධර්මයන් නුවණින් දැන යමකුට ස්කන්ධලෝකයෙහි කිසිදු ස්කන්ධාදියෙක (කෙලෙස් විසින්) චලිතයෙක් නැද්ද, ශාන්ත වූ ක්රෝධධූම රහිත වූ නිදුක් වූ ආශාරහිත වූ හෙතෙම ජාතිජරා ඉක්ම සිටියේ ය යි කියමි.
4. 1. 5. 2.
[පඤ්හබ්යාකරණ සූත්රය]
42. මහණෙනි, මේ ප්රශ්නව්යාකරණයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, ඒකාන්තයෙන් විසඳියයුතු ප්රශ්නයෙක් ඇත. මහණෙනි, බෙදා විසඳිය යුතු ප්රශ්නයෙක් ඇත. මහණෙනි, පිළිවිස විසඳිය යුතු ප්රශ්නයෙක් ඇත. මහණෙනි, තබාලිය යුතු ප්රශ්නයෙක් ඇත.
මහණෙනි, මේ සතර ප්රශ්නව්යාකරණයෝ යි.
105. එක් පැණෙක් ඒකාන්තවචන යි. අනෙක විභජ්යවචන යි. තෙවැන්න පුළුවුස්නේ ය. සිවුවැන්න තබන්නේය.
106. යමෙක් ඒ ප්රශ්නයන් අතුරෙන් ඒ ඒ තැන අනුධර්මතා සඞ්ඛ්යාත විසඳීම දන්නේ ද, එබඳු මහණ සතර පැණ පිළිබඳව දක්ෂයෙකැයි කියත්.
107. නොලංවියහෙන, නොමැඩලියහෙන, ගැඹුරු නොමුදවාලියහෙන වැලිත් දෙවැදෑරුම් අර්ත්ථානර්ත්ථයෙහි දක්ෂ වූ,
108. පණ්ඩිත මහණ අනර්ත්ථය හරණේ ය. අර්ත්ථය ගන්නේ ය. අර්ත්ථ සමාගමයෙන් ධීර වූ ඒ මහණ පණ්ඩිතය යි කියනු ලැබේ.
4. 1. 5. 3.
[පඨම කෝධගරු සූත්රය]
43. මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්යමානයහ. කවර සතර කෙනෙක යත්:
සද්ධර්මගරුක නොවන ක්රෝධගරුකය, සද්ධර්මගරුක නොවන මක්ඛගරුකය, සද්ධර්මගරුක නොවන ලාභගරුකය, සද්ධර්මගරුක නොවන සත්කාරගරුක යි.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්යමානයහ.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්යමානයහ. කවර සතර කෙනෙක යත්:
ක්රෝධගරුක නොවන සද්ධර්මගරුකය, මක්ඛගරුක නොවන සද්ධර්මගරුකය, ලාභගරුක නොවන සද්ධර්මගරුකය, සත්කාරගරුක නොවන සද්ධර්මගරුක යි.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්යමානයහ.