4. 1. 5. 7.
[සුවිදූරවිදූර සූත්රය]
47. මහණෙනි, මේ සුවිදූර-විදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන අහස හා පොළොව හා යයි මේ පළමුවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සමුද්රයාගේ මෙතෙර හා එතෙර හා යයි මේ දෙවැන්න යි. මහණෙනි, යම් තැනෙක හිරු නැඟේ ද, යම් තැනෙක හිරු අස්තයට යේ ද, මේ තෙවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සත්පුරුෂධර්මය හා අසත්පුරුෂධර්මය හා යයි මේ සිවුවැන්නයි.
මහණෙනි, මේ සතර සුවිදූර - විදූරස්ථානයෝ යි.
117. අහස ද දුරෙහි වෙයි. පොළොව ද එයින් දුරෙහි වෙයි. සමුද්රයාගේ පරතෙරෙක් ඇද්ද එ ද දුරෙහිය යි කියත්. ප්රභාකර වූ හිරු යම් තැනෙක උදා වේ ද, යම් තැනෙක අස්තයට යේ ද (ඒ දෙතැන ද) දුරෙහි ය යි කියත්.
118. සද්ධර්මය ද අසද්ධර්මය ද එයට ද වඩා ඒකාන්තයෙන් දූරතරය යි කියත්. සත්සමාගමය ද වෙන්ව නොයන ස්වභාව ඇති වෙයි. යම් තාක් (යම්සේ) සිටුනේ ද එසේ ම සිටුනේ වෙයි. අසත්සමාගමය වහා අපගත වෙයි. එබැවින් සත්පුරුෂධර්මය අසත්පුරුෂයන් කෙරෙන් දුර වෙයි.
4. 1. 5. 8.
[විසාඛ සූත්රය]
48. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛ තෙරණුවෝ උපස්ථාන ශාලායෙහිදී පිරිපුන් වචන ඇති, අපළිබුද්ධ, කෙළතොලු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්ෂූන් කරුණු දක්වා බෙණෙයි. සමාදන් කරවයි. තෙද ගන්වා බෙණෙ යි. පහදවයි.
එක්බිති භාග්යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැගී සිටි සේක් උවටැන්හලට වැඩි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, උපස්ථාන ශාලායෙහි දී කවරෙක් නම් පිරිපුන් වචන ඇති, නොපැකිල ගලාබස්නා හෙයින් විසෘත්වර වූ, කෙළතොලු නොවූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්ෂූන් කරුණු දක්වා බෙණේ ද, සමාදන් කරවා ද, තෙද ගන්වා බෙණේ ද, පහදවා ලයි ද?
වහන්ස, පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛතෙරණුවෝ උපස්ථාන ශාලායෙහි දී පිරිපුන් තෙපුල් ඇති, ගලා බස්නා හෙයින් විසෘත්වර වූ, කෙළෙතොළු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නොකළ, දැහැමි කථායෙන් භික්ෂූන් කරුණු දක්වා බෙණෙත්. සමාදන් කරවත්. තෙද ගන්වා බෙණෙත්. පහදවා ලත්.
එක්බිති භාග්යවතුන් වහන්සේ පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛ තෙරුන්හට තෙල වදාළ සේක: “මැනව, මැනව, විසාඛයෙනි, විසාඛයෙනි, මැනව. තෙපි පිරිපුන් බස් ඇති, ගලාබස්නා වදන් ඇති, කෙළතොලු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්ෂූන් කරුණු දක්වා බණව, සමාදන් කරව, තෙද ගන්වා බණව, පහදවා ලවයි වදාළහ.
119. බාලයන් හා මිශ්ර වාස ඇති, දැහැමි බස් නො බණන, පණ්ඩිතයා (පණ්ඩිතයෝ) නොදනිත්, නිර්වාණපදය (නවවිධලෝකෝත්තරධර්මය) දෙසන, දැහැමි කථා බණන්නහු (පණ්ඩිතයෝ) දනිත්.
120. ධර්මය බණන්නේය, බබුළුවන්නේය. ඍෂිධ්වජය (ලොවුතුරුදහම) නගා බණන්නේය. ඍෂීහු සුභාෂිත ධ්වජ ඇතියහ. ධර්මය වනාහි ඍෂීන්ගේ ධ්වජ යි.
4. 1. 5. 9.
[විපල්ලාස සූත්රය]
49. මහණෙනි, සංඥාවිපර්ය්යාසයෝ චිත්තවිපර්ය්යාසයෝ දෘෂ්ටිවිපර්ය්යාසයෝ මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, අනිත්යවස්තුයෙහි, ‘මේ නිත්ය ය’යි ගන්නේ සංඥාවිපර්ය්යාසයෙකි, චිත්තවිපර්ය්යාසයෙකි, දෘෂ්ටිවිපර්ය්යාසයෙකි. මහණෙනි, දුඃඛයෙහි, ‘මේ සුඛය’යි ගන්නේ සංඥාවිපර්ය්යාසයෙකි, චිත්තවිපර්ය්යාසයෙකි, දෘෂ්ටිවිපර්ය්යාසයෙකි. මහණෙනි, අනාත්මයෙහි, ‘මේ ආත්මය’යි ගන්නේ සංඥාවිපර්ය්යාසයෙකි, චිත්තවිපර්ය්යාසයෙකි, දෘෂ්ටිවිපර්ය්යාසයෙකි. මහණෙනි, අශුභයෙහි, ‘මේ ශුභය’යි ගන්නේ සංඥාවිපර්ය්යාසයෙකි, චිත්තවිපර්ය්යාසයෙකි, දෘෂ්ටිවිපර්ය්යාසයෙකි. මහණෙනි, මොහු සතර දෙන සංඥාවිපර්ය්යාස වෙති, චිත්තවිපර්ය්යාස, දෘෂ්ටිවිපර්ය්යාස ද වෙති.