4. 1. 5. 6.
[දුතිය රෝහිතස්ස සූත්රය]
46. එක්බිති භාග්යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය රෝහිතස්ස දෙව්පුත් රැය බෙහෙවින් ඉකුත් කල්හි (- මධ්යම රාත්රියෙහි) විශිෂ්ට ඡවිවර්ණ ඇත්තේ මුළු දෙව්රම බබුළුවා මා වෙත පැමිණියේ ය. පැමිණ මා සකසා වැඳ එකත්පස් ව සිටියේ ය. මහණෙනි, එකත්පස්ව සිටි රෝහිතස්ස දෙව්පුත් මට තෙල සැළ කෙළේය:
වහන්ස, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, වහන්ස, පියගමනින් ඒ ලෝකයාගේ එකෙළවර දන්නට වේවයි දක්නට වේවයි පැමිණෙන්නට වේවයි හැකි වේ ද?
මහණෙනි, මෙසේ කී කල්හි මම රෝහිතස්ස දෙව්පුත් හට මෙසේ කීමි: ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නොමියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ කෙළවර දතයුතු යයි හෝ දැක්ක යුතු ය යි හෝ පැමිණිය යුතු ය යි හෝ නොකියමි.
මහණෙනි, මෙසේ කී කල්හි රෝහිතස්ස දෙව්පුත් මට මෙසේ කීය: වහන්ස, ආශ්චර්ය්යය, වහන්ස, අද්භූතය. වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් මෙ බස යාවත් සුභාෂිතය, ‘ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ එකෙළවර දතයුතු ය යි හෝ දැක්ක යුතු ය යි හෝ පැමිණිය යුතුය යි හෝ නො කියමි’ යනුයි.
වහන්ස, පෙර වූ දැයක් කියමි: මම භෝජපුත්ර වූ රෝහිතස්ස නම් ඉදුහ ඇති, ආකාශචාරී ඍෂියෙකිම් වීමි. වහන්ස, ඒ මට මෙබඳු ජවයෙක් විය. දොළොස් වසක් තුළ ශික්ෂිත, කෘතහස්ත, කෘතොපාසන, දෘඪධන්වන් වූ, ධනුර්ධරයෙක් ලඝුශරයෙකින් නිදුක් සේ තල්සෙය සරස විදපියා ඉක්මවා ද, එබඳු ජව යි.
පෙර දිග මුහුදින් පැළදිග මුහු ද යම් පරිදි දුර වේ ද, එපරිදි වූ පාදව්යතීහාරයෙක් වීය. වහන්ස, මෙබඳු ජවයෙන් සමන්වාගත, මෙබඳු පාදව්යතීහාරයෙන් යුත් ඒ මට මෙබඳු ඉච්ඡායෙක් උපන: ‘මම පියගමනින් ලෝකයාගේ කෙළවරට පැමිණෙමි’ යනුයි.
වහන්ස, ඒ මම බිදීම්, පීම්, කෑම්, ලෙවීම් හැර මලමූ කිස හැර නිද්රාක්ලමථු විනෝදනා හැර, වර්ෂශතායුෂ්ක වූයෙම්, වර්ෂශතජීවී වූයෙම් සියක් හවුරුදු ගොස් ලෝකාන්තයට නො පැමිණ ම අතර ම කලුරිය කෙළෙමි.
වහන්ස, ආශ්චර්ය්යය, වහන්ස, අද්භූතය, වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් තෙල බස යාවත් සුභාෂිතය: ‘ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, මම පියගමනින් ලෝකයාගේ එකෙළවර දතයුතු ය යි හෝ දැක්ක යුතුය යි හෝ පැමිණිය යුතුය යි හෝ නො කියමි’ යනුයි.
මහණෙනි, මෙසේ කී කල්හි මම රෝහිතස්ස දෙව්පුත්හට තෙල කීමි: ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, පියගමනින් ලෝකයාගේ ඒ කෙළවර දතයුතු ය යි, දැක්ක යුතුය යි, පැමිණිය යුතුය යි නො කියමි. ඇවැත්නි, මම (සංස්කාර) ලෝකයාගේ අන්තයට නොපැමිණ ම දුඃඛයාගේ කෙළවර කිරීම ද නො කියමි. ඇවැත්නි, වැලිත් මම සසංඥ වූ සචිත්තක වූ ව්යාමමාත්ර වූ මේ ආත්මභාවයෙහි ම දුඃඛසත්යය ද සමුදයසත්යය ද නිරෝධසත්යය ද නිරොධගාමිනී ප්රතිපත්තිය ද පණවමි.
115. කිසි කලෙකදු පියගමනින් ලොකාන්තය නො පැමිණිය හැකිය. නිවන් නො පැමිණ දුකින් මිදීමෙක් නැත.
116. එබැවින් ලෝකය දත්, සුන්දර ප්රඥා ඇති, නිවණට ගිය, වැස නිම කළ මග බඹසර ඇති, සන්සිඳ ලූ පව් ඇති, රහත් තෙම ඒකාන්තයෙන් ලොකාන්තය දැන මෙලොව හා පරලොව හා නොපතනේ ය.
4. 1. 5. 7.
[සුවිදූරවිදූර සූත්රය]
47. මහණෙනි, මේ සුවිදූර-විදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන අහස හා පොළොව හා යයි මේ පළමුවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සමුද්රයාගේ මෙතෙර හා එතෙර හා යයි මේ දෙවැන්න යි. මහණෙනි, යම් තැනෙක හිරු නැඟේ ද, යම් තැනෙක හිරු අස්තයට යේ ද, මේ තෙවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සත්පුරුෂධර්මය හා අසත්පුරුෂධර්මය හා යයි මේ සිවුවැන්නයි.
මහණෙනි, මේ සතර සුවිදූර - විදූරස්ථානයෝ යි.
117. අහස ද දුරෙහි වෙයි. පොළොව ද එයින් දුරෙහි වෙයි. සමුද්රයාගේ පරතෙරෙක් ඇද්ද එ ද දුරෙහිය යි කියත්. ප්රභාකර වූ හිරු යම් තැනෙක උදා වේ ද, යම් තැනෙක අස්තයට යේ ද (ඒ දෙතැන ද) දුරෙහි ය යි කියත්.
118. සද්ධර්මය ද අසද්ධර්මය ද එයට ද වඩා ඒකාන්තයෙන් දූරතරය යි කියත්. සත්සමාගමය ද වෙන්ව නොයන ස්වභාව ඇති වෙයි. යම් තාක් (යම්සේ) සිටුනේ ද එසේ ම සිටුනේ වෙයි. අසත්සමාගමය වහා අපගත වෙයි. එබැවින් සත්පුරුෂධර්මය අසත්පුරුෂයන් කෙරෙන් දුර වෙයි.