4. 1. 2. 4.
[සංවරප්පධාන සූත්‍රය]
14. මහණෙනි, මේ සතර ප්‍රධන්වීර්‍ය්‍ය කෙනෙකි. කවර සතර කෙනෙක යත්: සංවරප්පධානය, පහාණප්පධානය, භාවනාප්පධානය, අනුරක්ඛණප්පධාන යි.
මහණෙනි, සංවරප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ යමක් හේතු කොට ගෙණ චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට විහරණය කරණ තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු ද, ඇසින් එබඳු රූපයක් දැක නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වේ. ඒ චක්‍ෂුරින්‍ද්‍රියසංවරය පිණිස පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය රක්නේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය විෂයෙහි සංවරයට පැමිණේ.
ශ්‍රෝතයෙන් ශබ්දය අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය අසා ... දිවින් රස විඳ ... කයින් ස්පර්‍ශය පැහැස ... යමක් හේතු කොට ගෙණ මනින්‍ද්‍රිය අසංවෘත කොට ගෙණ වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු ද, සිතින් එබඳු ධර්‍මාලම්බනයක් දැන නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වේ. ඒ මනින්‍ද්‍රියසංවරය පිණිස පිළිපදනේ ය. මනින්‍ද්‍රිය රක්නේ ය. මනින්‍ද්‍රිය විෂයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ ‘සංවරප්පධාන’ යි කියනු ලැබේ.
මහණෙනි, පහාණප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කාමවිතර්‍කය නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්‍කය ... උපනුපන් ලාමක අකුශලධර්‍මයන් නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, මේ ‘පහාණප්පධාන’ යි කියනු ලැබේ.
මහණෙනි, භාවනාප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ (අධිගන්තව්‍යවශයෙන්) විවේකනිඃශ්‍රිත කොට විරාගනිඃශ්‍රිත කොට නිරෝධනිඃශ්‍රිත කොට (ක්ලේශපරිත්‍යාගය හා නිර්‍වාණප්‍රස්කන්‍දයයි කියන ලද) වොස්සග්ගයට පරිණාමශීල කොට ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩයි ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය වඩයි ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි ... සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි ... විවේකනිඃශ්‍රිත කොට විරාගනිඃශ්‍රිත කොට නිරෝධනිඃශ්‍රිත කොට වොස්සග්ගයට පරිණාමශීල කොට උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩයි. මහණෙනි, මේ ‘භාවනාප්පධාන’ යි කියනු ලැබේ.
මහණෙනි, අනුරක්ඛණප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කල්‍යාණ වූ සමාධිනිමිත්ත රක්නේ ය. අට්ඨිකසඤ්ඤාය, පුලවකසඤ්ඤාය, විනීලකසඤ්ඤාය, විපුබ්බකසඤ්ඤාය, විච්ඡිද්දකසඤ්ඤාය, උද්ධුමාතකසඤ්ඤාය යන මේ ය. මහණෙනි, මේ ‘අනුරක්ඛණප්පධාන’ යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ යි.
36. මෙසස්නෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති මහණ යම් වීර්‍ය්‍ය කෙනෙකුන් කරණ කොට ගෙණ දුඃඛක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පැමිණේ ද, එබඳු වූ සංවරය, පහාණය, භාවනාය, අනුරක්ඛණය යන මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ ආදිච්චබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලදහ.
4. 1. 2. 5.
[අග්ගපඤ්ඤත්ති සූත්‍රය]
15. මහණෙනි, මේ අග්‍රප්‍රඥප්තීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, ආත්මභාවීන් අතුරෙන් යම් මේ රාහු අසුරෙන්‍ද්‍රෙයක් වේ ද, මෙ තෙම අග්‍රය.
මහණෙනි, කාමභෝගීන් අතුරෙන් යම් මේ මාන්‍ධාතෘ නම් රජෙක් වේ ද, මෙ තෙම අග්‍රය.
මහණෙනි, ආධිපත්‍යය කරණුවන් අතුරෙන් යම් මේ පාපී මාරයෙක් වේ ද, මෙ තෙම අග්‍රය.
මහණෙනි, මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර අග්‍රප්‍රඥප්තීහු යි.
37. ආත්මභාවීන් අතුරෙන් රාහු අසුරිඳු අග්‍ර වේ. කාමභෝගීන් අතුරෙන් මාන්‍ධාතෘ සක්විති රජ අග්‍ර වේ. ආධිපත්‍ය කරණුවන්, දිව්‍ය සම්පත්ති සමෘද්ධියෙනුදු පරිවාර සඞ්ඛ්‍යාත යශසිනුදු බබලනුවන් අතුරෙන් මරදෙව්පිත් අග්‍ර වේ.
38. උඩය මැදය යටය යන ලෝකනිෂ්පත්තිය තෙක් දෙවියන් සහිත ලෝකයාට බුදුරජාණන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබේ.