4. 1. 2. 5.
[අග්ගපඤ්ඤත්ති සූත්රය]
15. මහණෙනි, මේ අග්රප්රඥප්තීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, ආත්මභාවීන් අතුරෙන් යම් මේ රාහු අසුරෙන්ද්රෙයක් වේ ද, මෙ තෙම අග්රය.
මහණෙනි, කාමභෝගීන් අතුරෙන් යම් මේ මාන්ධාතෘ නම් රජෙක් වේ ද, මෙ තෙම අග්රය.
මහණෙනි, ආධිපත්යය කරණුවන් අතුරෙන් යම් මේ පාපී මාරයෙක් වේ ද, මෙ තෙම අග්රය.
මහණෙනි, මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි ශ්රමණ බ්රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්වාඛ්ය ප්රජායෙහි අර්හත් වූ සම්යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්රයහ යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර අග්රප්රඥප්තීහු යි.
37. ආත්මභාවීන් අතුරෙන් රාහු අසුරිඳු අග්ර වේ. කාමභෝගීන් අතුරෙන් මාන්ධාතෘ සක්විති රජ අග්ර වේ. ආධිපත්ය කරණුවන්, දිව්ය සම්පත්ති සමෘද්ධියෙනුදු පරිවාර සඞ්ඛ්යාත යශසිනුදු බබලනුවන් අතුරෙන් මරදෙව්පිත් අග්ර වේ.
38. උඩය මැදය යටය යන ලෝකනිෂ්පත්තිය තෙක් දෙවියන් සහිත ලෝකයාට බුදුරජාණන් වහන්සේ අග්රයහ යි කියනු ලැබේ.
4. 1. 2. 6.
[සොඛුම්ම සූත්රය]
16. මහණෙනි, මේ සූක්ෂමලක්ෂණප්රතිවේධකඥානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයෙහි උතුම් සූක්ෂමලක්ෂණපරිග්රාහකඥානයෙන් සමන්වාගත වෙයි. ඒ රූපසූක්ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්රණීතතර වූ හෝ අනෙක් රූපසූක්ෂමත්වයක් නො දක්නේ ය. ඒ රූපසූක්ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්රණීතතර වූ හෝ අන් රූපසූක්ෂමත්වයක් නො පතයි.
වේදනායෙහි උතුම් සූක්ෂමලක්ෂණප්රතිවේධකඥානයෙන් සමන්වාගත වෙයි. ඒ වේදනායෙහි සූක්ෂමලක්ෂණපරිග්රාහකඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්රණීතතර වූ හෝ අනෙක් වේදනාසූක්ෂමභාවයක් නො දක්නේ ය. ඒ වේදනාසූක්ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්රණීතතර වූ හෝ අනෙක් වේදනාසූක්ෂමභාවයක් නො පතයි.
සංඥායෙහි උතුම් සූක්ෂමලක්ෂණප්රතිවේධකඥානයෙන් සමන්වාගත වෙයි. ඒ සංඥායෙහි සූක්ෂමලක්ෂණපරිග්රාහකඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්රණීතතර වූ හෝ අනෙක් සංඥාසූක්ෂමභාවයක් නො දක්නේ ය. ඒ සංඥාසූක්ෂමභාවඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්රණීතතර වූ හෝ අනෙක් සංඥාසූක්ෂමභාවයක් නො පතයි.
සංස්කාරයෙහි උතුම් සූක්ෂමලක්ෂණප්රතිවේධකඥානයෙන් සමන්වාගත වෙයි. ඒ සංස්කාරයෙහි සූක්ෂමලක්ෂණපරිග්රාහකඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්රණීතතර වූ හෝ අනෙක් සංස්කාරසූක්ෂමභාවයක් නො දක්නේ ය. ඒ සංස්කාරසූක්ෂමභාවඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්රණීතතර වූ හෝ අනෙක් සංස්කාරසූක්ෂමභාවයක් නො පතයි.
මහණෙනි, මේ සතර සූක්ෂමලක්ෂණප්රතිවේධකඥානයෝ ය.
39. රූපස්කන්ධයාගේ සූක්ෂමභාවය දැන, වේදනාවන්ගේ ප්රභවය ද දැන, යම් කරුණින් සංඥාස්කන්ධය උදා වේ ද එ ද දැන, යම් තැනෙක සංඥාස්කන්ධය නිරුද්ධ වේ ද එද දැන,
40. සංස්කාරයන් අනිත්යතායෙන් පරවශයෙන් දැන, දුක් විසින් දැන, අනාත්ම විසින් දැන සිටුනා, මොනවට පස්කඳ දක්නා, සන්හුන් කෙලෙස් ඇති වන බැවින් ශාන්ත වූ, එහෙයින් ම ශාන්තිපද සඞ්ඛ්යාත නිවණෙහි ඇලුනු, ඒ මහණ ඒකාන්තයෙන් සෙන් සියෝ මරදෙවිපිත් දිනා අන්තිම දේහය දරයි.
4. 1. 2. 7.
[අගති සූත්රය]
17. මහණෙනි, මේ අගතියට යන කරුණු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ඡන්දෙයන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. බියෙන් අගතියට යෙයි.
මහණෙනි, මේ අගතිගමන කරුණු සතර දෙනය.
41. ඡන්දෙයනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන යේ ද ඔහුගේ යශස් පිරිහෙයි. කළුවර පස සඳු මෙනි.