4. 1. 2. 3.
[පධාන සූත්‍රය]
13. මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෝ ය. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නො ඉපැද්ම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
නූපන් කුශල ධර්‍මයන්ගේ ඉපැද්ම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
උපන් කුශල ධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස අසම්මොෂය පිණිස බොහෝ බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණ බව පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෝ යි.
34. සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍ය ඇති සසරවට නමැති මාරධෙය්‍යය මැඩ ගෙණ සිටුනා ඒ රහත්හු අනිඃශ්‍රිතයහ ජාතිමරණ සඞ්ඛ්‍යාත භීතියගේ කෙළ පැමිණියාහු ය. ඒ රහත්හු තුෂ්ටයහ. සේනා සහිත මරහු දිනා සිටියහ. ඒ රහත්හු තෘෂ්ණා නැතියහ. මුළු මරබල විධමා සිටියහ. (එහෙයින් ම) ඒ රහත්හු සුඛිතයෝ යි.
4. 1. 2. 4.
[සංවරප්පධාන සූත්‍රය]
14. මහණෙනි, මේ සතර ප්‍රධන්වීර්‍ය්‍ය කෙනෙකි. කවර සතර කෙනෙක යත්: සංවරප්පධානය, පහාණප්පධානය, භාවනාප්පධානය, අනුරක්ඛණප්පධාන යි.
මහණෙනි, සංවරප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ යමක් හේතු කොට ගෙණ චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට විහරණය කරණ තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු ද, ඇසින් එබඳු රූපයක් දැක නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වේ. ඒ චක්‍ෂුරින්‍ද්‍රියසංවරය පිණිස පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය රක්නේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය විෂයෙහි සංවරයට පැමිණේ.
ශ්‍රෝතයෙන් ශබ්දය අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය අසා ... දිවින් රස විඳ ... කයින් ස්පර්‍ශය පැහැස ... යමක් හේතු කොට ගෙණ මනින්‍ද්‍රිය අසංවෘත කොට ගෙණ වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු ද, සිතින් එබඳු ධර්‍මාලම්බනයක් දැන නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වේ. ඒ මනින්‍ද්‍රියසංවරය පිණිස පිළිපදනේ ය. මනින්‍ද්‍රිය රක්නේ ය. මනින්‍ද්‍රිය විෂයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ ‘සංවරප්පධාන’ යි කියනු ලැබේ.
මහණෙනි, පහාණප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කාමවිතර්‍කය නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්‍කය ... උපනුපන් ලාමක අකුශලධර්‍මයන් නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, මේ ‘පහාණප්පධාන’ යි කියනු ලැබේ.