4. 1. 2. 2.
[ශීල සූත්‍රය]
12. මහණෙනි, පරිපූර්‍ණ සිල් ඇති ව පිරිපුන් පාමොක් ඇති ව වසව. ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලයෙන් යුක්ත ව ආචාර ගෝචර දෙකින් යුක්ත ව වසව. අණුප්‍රමාණ වූ ද දෝෂයෙහි බිය විසින් දක්නා සුලු ව සික පෙදෙහි සමාදාන කොට ගෙණ හික්මෙව. මහණෙනි, පරිපූර්‍ණ සිල් ඇති ව පිරිපුන් පාමොක් ඇති ව ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලයෙන් යුක්තව ආචාර ගෝචර දෙකින් යුක්ත ව අණුප්‍රමාණ වරදෙහි බිය දක්නා සුලු ව සික පෙදෙහි සමාදාන කොට ගෙණ හික්මීම් කරමින් වසන තොප විසින් මතුයෙහි කරණී කිමය යත්:
මහණෙනි, ඇවිදුනා වූ ද මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීන මිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, රුකුළු වැර අසංලීන වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති, උපවාද භය ඇති, හැමදා නරතුරු පටන්ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ ඇවිදුනා වූත් ඒ මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, සිටුනා වූ ද මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීන මිද්ධ උද්ධච්චකුක්කුච්ච විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, ආරබ්ධවීර්‍ය්‍යය අසංලීන වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නොවූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ සිටුනා වූත් ඒ මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, හුන්නාවූත් මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීන මිද්ධ, උද්ධච්චකුක්කුච්ච විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුනේ වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති උපවාදභය ඇති හැමදා නරතුරු පටන්ගත් වීර්‍ය්‍ ඇති මෙබඳු වූ හුන්නාවූත් ඒ මහණ “ශමථවිදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ״ යි කියනු ලැබේ.
මහණෙනි, හෝනාවූත් නිදිවරණ මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුනේ වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නොවූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟවූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති, උපවාදභය ඇති නරතුරු පටන්ගත් වීර්‍ය්‍ ඇති මෙබඳු වූ හෝනාවූත් නිදිවරණ ඒ මහණ “ශමථවිදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.
31. මහණ, සංයත කොට ගෙණ හැසිරෙන්නේ ය. සංයත කොට ගෙණ සිටුනේ ය. සංයත කොට ගෙන හිඳුනේ ය. සංයත කොට ගෙණ හෝනේ ය. සංයත කොට ගෙණ අත්පා හකුළන්නේ ය. සංයත කොට ගෙණ ම ඒ අඟ පසඟ දිගු කරන්නේය.
32. (යම් මහණෙක්) උඩ මැද යට යි ලෝක නිෂ්පත්තිය තෙක් (අතීතාදි භේද භින්න) පඤ්චස්කන්‍ධ ධර්‍මයන්ගේ උදය - වය දක්නේ වේ ද,
33. චිත්තශමථයට අනුච්ඡවික පටිපදාව පුරණ සියලු කල්හි ස්මෘතිමත් එබඳු ඒ මහණ නරතුරු ශමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තෙකැ යි කියත්.
4. 1. 2. 3.
[පධාන සූත්‍රය]
13. මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෝ ය. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නො ඉපැද්ම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
නූපන් කුශල ධර්‍මයන්ගේ ඉපැද්ම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
උපන් කුශල ධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස අසම්මොෂය පිණිස බොහෝ බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණ බව පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෝ යි.