3. 2. 5. 9.
50. මහණෙනි, යමෙක් “යම් යම් ආකාරයෙකින් මේ පුරුෂ කර්ම කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් ඒ කර්මයාගේ විපාක විඳුනේ ම ය” යි, මෙසේ බෙණේ ද, මහණෙනි, එසේවත් ම බ්රහ්මචර්ය්යවාසය (කර්මක්ෂයකර) නො වෙයි. මැනැවින් දුක් කෙළවර කිරීමට අවකාශයෙක් නො පැණේ,
මහණෙනි, වැලි යමෙක් “යම් යම් අයුරෙකින් මේ පුරුෂ (විපාකවාර විසින්) වින්ද යුතු වූ කර්ම කෙරේ ද, ඒ ඒ අයුරින් ඒ කර්මයාගේ විපාක විඳුනේය” යි, මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්මක්ෂයකර බ්රහ්මචර්ය්යවාසය වේ. මැනැවින් දුක් කෙළවර කිරීමට අවකාශයෙක් පැණේ.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් අල්පමාත්ර වූත් පාපකර්මයෙක් කරණ ලද්දේ වේ ද, ඒ කර්මය තෙල පුද්ගලයා නිරයට එළවයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්ර වූත් පාපකර්මයෙක් කරණ ලද්දේ ඒ දෘෂ්ටධර්මවේද්ය වෙයි. පරලොව අණුමාත්රයකුදු විපාක විසින් නො පැණේ. බොහෝ (විපාක දෙයි කියනු) කිම?
මහණෙනි, කෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් අල්පමාත්ර වූත් පාපකර්මයෙක් කරණ ලද්දේ ඒ කර්මය තෙල පුද්ගලයා නිරයට එළවා ද?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභාවනා නැතියේ වෙයි. ශීලභාවනා නැතියේ වෙයි. චිත්තභාවනා නැතියේ වෙයි. ප්රඥාභාවනා නැතියේ වෙයි. අල්පගුණ ඇතියේ වෙයි. ගුණ විසින් අල්පාත්ම ඇතියේ වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයක්හු විසින් අල්පමාත්ර වූත් පාපකර්මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට එළවයි.
මහණෙනි, කෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්ර පාපකර්මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්මවේද්ය වේ ද, පරලොව අණුමාත්ර විපාකයකුත් නො පැණේ ද? බොහෝ කොට පැණීමෙක් කීම?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වැඩූ කය ඇතියේ වෙයි. වැඩූ සිල් ඇතියේ වෙයි. වැඩූ සිත් ඇතියේ වෙයි. වැඩූ පැණ ඇතියේ වෙයි. ගුණ විසින් අල්ප නො වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්රමාණකර රාගාදීන්ගේ අභාවයෙන්) අප්රමාණ විහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්ර වූත් පාපකර්මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්මවේද්ය වෙයි. පරලොව අණුමාත්ර විපාකයෙකුත් නො පැණේ. බොහෝ විපාක කියනු කිම?
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලුණුකැටයක් කුඩා දියමලායෙක බහන්නේ වේ ද, මහණෙනි, ඒ කෙසේ සිතවු ද? දියමලායෙහි වූ ඒ දියත්ත මේ ලුණු කැටයෙන් ලුණුරසට යන්නේ වේ ද?
වහන්ස, එසේය.
ඒ කවර හෙයින?
වහන්ස, දියමලායෙහි වූ තෙල දියත්ත (අල්ප හෙයින්) තෙල ලුණුකැටයෙන් ලුණුරසට යන්නේ වෙයි.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලුණුකැටයක් ගඞ්ගානදියෙහි බහන්නේ නම්, ඒ කෙසේ සිතවු ද? මහණෙනි, ඒ ගඞ්ගානදිය තෙල ලුණු කැටයෙන් ලුණුරසට යන්නේ වේ ද?
වහන්ස, තෙල නොවන සුලුය.
ඒ කවර හෙයින?
වහන්ස, ගඞ්ගානදියෙහි වූ තෙල මහදියකඳෙක් වේ ද, ඒ දිය කඳ තෙල ලුණුකැට යෙන් ලුණුරසට නො පැමිණෙන්නේ ම ය.