3. 2. 5. 10.
51. මහණෙනි, ජාතරූපයා (රන්හු) ගේ පස් හා වැලිය, සකුරු හා කැබිලිති යයි ඕළාරික උපක්ලේශයෝ ඇත. ඒ උපක්ලේශ පස්දෝනේ හෝ පස් දෝනහුගේ අතවැසියෙක් හෝ දෙණෙහි විසුරුවා දෝනේය. මොනොවට දෝනේය. නිගෙණ දෝනේය. ඒ උපක්ලේශ ප්‍රහත වත් මැ ඒ උපක්ලේශ වාන්ත කොට ලත්මැ රන්හුගේ සියුම් සකුරුය, දළ වැලිය යි මධ්‍යම සහගතඋපක්ලේශයෝ ඇත. ඒ උපක්ලේශ පාංශුධාවක හෝ පාංශුධාවකයා අතවැසියෙක් හෝ සලයි. මොනොවට සලයි, පෙළාගෙණ සලයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ විගත කොට ලත් ම රන්හුගේ සියුම් වැලිය, කළු දැලිය යි සූක්‍ෂම සහගත උපක්ලේශයෝ ඇත. ඒ උපක්ලේශ පාංශුධාවක හෝ පාංශුධාවකයා අතවැසියෙක් හෝ සෝදයි. මොනොවට සෝදයි, පෙළාගෙණ සෝදයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ බැහැර කොට ලත් ම යලි රන්වැලි ඉතිරි වෙයි. රන්කරු හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන කබලෙහි බහා පිඹියි. මොනවට පිඹියි. පෙළාගෙණ පිඹියි. පිඹ මල හළ, මොනවට පිඹ මල හළ, නිගෙණ පිඹ මල හළ, විචාරකොට නොතැබූ, නොහළ කසට ඇති, ඒ රන මෘදුත් නො වෙයි. කර්‍මණ්‍යත් නො වෙයි. ප්‍රභාස්වරත් නො වෙයි. බිඳෙන සුලුත් වෙයි. කර්‍මාන්තයට මොනොවට නො වැදෙයි.
මහණෙනි, යම් හෙයෙකින් ඒ ස්වර්‍ණකාරයා හෝ ස්වර්‍ණකාර අතැවැසියා හෝ ඒ රත පිඹ මල හරනේ ද, මොනොවට පිඹ මල හරනේ ද, නිගෙණ පිඹ මල හරනේ ද, එබඳු කලෙක් වෙයි. පිඹ මල හළ, මොනොවට පිඹ මල හළ, නිගෙණ පිඹ කසකළ මල ඇති, ශුඩ කොට බහා තැබූ, හළ කසට ඇති, ඒ රනෙක් වේ ද, ඒ මෘදුත් වෙයි. කර්‍මණ්‍යත් වෙයි. ප්‍රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නො වෙයි. කර්‍මාන්තයට ද මොනොවට වැදෙයි. රන්පටට වේවයි, කොඬොලට වේවයි, ග්‍රීචාලඞ්කාරයෙහි වේවයි, රන්මලට වේවයි යම් යම් පිළන්‍ධනවිකෘතියකට කැමති වේ ද ඒ අර්‍ත්‍ථය ද වළඳ කෙරේ.
මහණෙනි, එපරිදි ම අධිචිත්තයෙහි යෙදුනු මහණහුගේ කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යි ඕළාරික උපක්ලේශයෝ ඇද්ද, චිත්ත සම්පන්න පණ්ඩිතස්වභාව ඇති මහණ එය දුරු කෙරේ. විනෝදනා කෙරේ. විගතාන්ත කෙරේ. අනභාවයට පමුණුවයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ විගතාන්ත කරත් ම අධිචිත්තයෙහි යෙදුනු මහණහට කාමවිතර්‍කය ව්‍යාපාදවිතර්‍කය විහිංසා විතර්‍කය යි මධ්‍යමසහගත උපක්ලේශයෝ ඇද්ද, ඒ උපක්ලේශ චිත්තසම්පන්න වූ පණ්ඩිතස්වභාව ඇති මහණ දුරු කෙරේ. විනෝදනා කෙරේ. විගතාන්ත කෙරේ අනභාවයට පමුණුවයි. ඒ ප්‍රහත වත් ම ඒ විගතාන්ත කොට ලත් ම අධිචිත්තයෙහි යෙදුනු මහණහට ඥාතිවිතර්‍කය ජනපදවිතර්‍කය අනුවිඥප්තිප්‍රතිසංයුක්ත විතර්‍කය යි සූක්‍ෂම සහගත උපක්ලේශයෝ ඇද්ද, ඒ උපක්ලේශ චිත්තසම්පන්න පණ්ඩිතස්වභාව ඇති මහණ දුරු කෙරේ. විනෝදනා කෙරේ. විගතාන්ත කෙරේ. අනභාවයට පමුණුවයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ විගතාන්ත කොට ලත් ම ඉන් මතුයෙහි ධර්‍මවිතර්‍කයෝ (දශවිදර්‍ශනෝපක්ලේශවිතර්‍ක) ඉතිරි වෙති. ඒ (අවශිෂ්ට ධර්‍මවිතර්‍ක) විදර්‍ශනාසමාධිය (නොසන්හුන් කෙලෙස් ඇති බැවින්) අශාන්ත වෙයි. ප්‍රණීත නො ද වෙයි. කෙලෙස් සන්හිඳුවීමෙන් නොලද්දේ වෙයි. එකඟ බවට නො පැමිණියේ වෙයි. සප්‍රයෝගයෙන් කෙලෙස් නිගෙණීමෙන් උපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක ඒ සිත අධ්‍යාත්මයෙහි ම බැස සිටුනේ ද, බැස හිඳුනේ ද, එකඟ වේ ද, සමාධිගත වේ ද, එබඳු කලෙක් වෙයි. ඒ සමාධිය ශාන්ත වෙයි. ප්‍රණීත වෙයි. කෙලෙස් සන්හිඳුවීමෙන් ලදුයේ වෙයි. එකඟ බවට ගියේ වෙයි. සප්‍රයෝගයෙන් කෙලෙස් නිගෙණීමෙන් ලදුයේ නො වෙයි. විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කළයුතු යම් යම් දහමකට සිත නතු කෙරේ ද පූර්‍වහේතු හා අභිඥාපාදකධ්‍යානාදි ආයතන (සාධන) ඇති ඇතිවත් ම ඒ ඒ සිදධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණේ.
ඉදින් හේ “බහුප්‍රකාර ඍද්‍ධිප්‍රභේද වළඳම්ව යි, පියෙවින් එකක් ව බහුප්‍රකාර වෙම්ව යි, බහුප්‍රකාරව ද එකෙකිම් වෙම්ව යි, ආවිර්භාවයට තිරොභාවයට භිත්තිපාරයට (භිත්තියෙන් ඔබ්බට) ප්‍රාකාරපාරයට පර්‍වතපාරයට අහසෙහි ගෙන යනුවන් සෙයින් නො ගැටෙමින් යෙම්ව යි, දියෙහි සෙයින් පොළොවෙහිත් උන්මජ්ජන නිමජ්ජන කෙරෙම් ව යි, නො බිඳෙන දියෙහිදු පොළොවෙහි සෙයින් යෙම්ව යි, පක්‍ෂිශකුනීන් සෙයින් අහසෙහිත් පලඟින් යෙම්ව යි, මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරුහුත් අතින් පිරිමදිම්ව යි, බඹලොව දක්වාත් කයින් විසිය පවත්වම්ව” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත්ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
ඉදින් හෙ “යම් ශබ්ද කෙනෙක් දුරෙහි ඇද්ද සමීපයෙහි හෝ ඇද්ද දිව්‍ය වූත් මානුෂ්‍ය වූත් ඒ උභය ශබ්දයන් මිනිස්කණ ඉක්ම සිටි විශුද්ධ වූ දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙන් අසම්ව” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත් ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
ඉදින් හෙ “පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත සිතින් පිරිසිඳ දනිම්ව”යි සරාග වූ හෝ සිත සරාග සිතැ යි දනිම්ව යි, වීතරාග වූ හෝ සිත වීතරාග සිතැ යි දනිම්ව යි, සද්වේෂ වූ හෝ සිත ... වීතද්වේෂ වූ හෝ සිත ... සමෝහ වූ හෝ සිත ... වීතමෝහ වූ හෝ සිත … සඞ්ක්‍ෂිප්ත වූ හෝ සිත ... වික්‍ෂිප්ත වූ හෝ සිත ... මහද්ගත වූ හෝ සිත ... අමහද්ගත වූ හෝ සිත ... සහෝත්තර වූ හෝ සිත ... අනුත්තර වූ හෝ සිත ... සමාහිත වූ හෝ සිත ... අසමාහිත වූ හෝ සිත ... විමුක්ත වූ හෝ සිත විමුක්ත සිතැ යි දනිම්ව යි, අවිමුක්ත වූ හෝ සිත අවිමුක්ත සිතැ යි දනිම්ව” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත්ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
ඉදින් හෙ “අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙම්ව” යි කැමති වේ ද, ඒ කෙසේයැ යත්: “එක් ජාතියකුදු දෙජාතියකුදු තුන් ජාතියකුදු සිවුජාතියකුදු ... සියක් ජාතියකුදු දහසක් ජාතියකුදු සියක් දහසක් ජාතියකුදු අනේකසංවර්‍තවිවර්‍තකල්පයනුදු අනේක විවර්‍තකල්පයනුදු අනේක සංවර්‍තවිවර්‍තකල්පයනුදු ‘අසෝ තැන මෙබඳු නම් ඇතියෙම් වීමි යි, මෙබඳු ගෝත්‍ර ඇතියෙම් වීමි යි, මෙබඳු වර්‍ණ ඇතියෙම් වීමි යි මෙබඳු අහර ඇතියෙම් වීමි යි , මෙබඳු සුවදුක් විඳියෙමි යි, මෙබඳු ආයු කෙළවර ඇතියෙමි යි, මම එයින් ච්‍යුතව අසෝ තැන උපනිමි යි, එහිදු මෙබඳු නම් ඇතියෙමි යි, මෙබඳු ගෝත්‍ර ඇතියෙමි යි, මෙබඳු වර්‍ණ ඇතියෙමි යි, මෙබඳු ආහාර ඇතියෙමි යි, මෙබඳු සුවදුක් විඳියෙමි යි, මෙබඳු ආයු පිරිහිම් කොට ඇතියෙමි යි, මම ඉන් සැව මෙහි උපනිමි’ යි මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකප්‍රකාර වූ පූර්වේනිවාසය සිහි කරන්නෙමි” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත්ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.