3. 2. 5. 11.
52. මහණෙනි, (සමථවිදර්ශනාචිත්ත සඞ්ඛ්යාත) අධිචිත්තයෙහි යෙදුනු මහණහු විසින් කාරණයෝ තුන් දෙනෙක් කලින් කල මෙනෙහි කළ යුත්තාහ: කලින් කළ සමාධි සඞ්ඛ්යාත ඒකාග්රතා නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින්කල වීර්ය්ය සඞ්ඛ්යාත ප්රග්රහ නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල ස්මෘතිමධ්යස්ථතා සඞ්ඛ්යාත උපේක්ෂානිමිත්ත මෙනෙහි කළ යුතුය.
මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට සමාධිනිමිත්ත ම මෙනෙහි කරන්නේ වේ නම්, ඒ සිත කුසීතභාවයට වැටෙන්නේ ය යන මෙකරුණ වෙයි.
මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට ප්රග්රහනිමිත්ත ම මෙනෙහි කරන්නේ වේ නම්, ඒ සිත උද්ධතභාවයට වැටෙන්නේය යන මෙකරුණ වෙයි.
මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට උපේක්ෂානිමිත්ත ම මෙනෙහි කරන්නේ නම්, ඒ සිත ආස්රවක්ෂය පිණිස මැනැවින් සමාධිගත නොවන්නේය යන මෙ කරුණ වෙයි.
මහණෙනි, යම් කලෙක අධිචිත්තයෙහි යෙදුනු මහණ කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කෙළේ ද, කලින් කල ප්රග්රහනිමිත්ත මෙනෙහි කෙළේ ද, කලින් කල උපේක්ෂානිමිත්ත මෙනෙහි කෙළේ ද ඒ සිත මෘදුත් වෙයි. කර්මණ්යත් වෙයි. ප්රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නො වෙයි. ආස්රවක්ෂය සඞ්ඛ්යාත අර්හත්ඵලය පිණිස මැනැවින් සමාධිගත වෙයි.
මහණෙනි, යම් පරිදි තුලාරෙක් හෝ තුලාර අතවැසියෙක් හෝ අඟුරු කබලු බඳී ද, බැඳ කබලුමුව ගිනි ගන්වා ද, කබලුමුව ගිනි අවුලුවා අඬුවෙන් රන් ගෙණ කබලු මුවෙහි බහා කලින් කළ අභිමුඛ කොට ගෙන් පිඹී ද, කලින් කල දියෙන් ඉස්නේ වේ ද, කලින් කල පැසුනු නො පැසුනු බව සොයා ද,
මහණෙනි, ඉදින් රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන ඒකාන්ත කොට ඉදිරිකොටගෙන පිඹිනේ නම් ඒ රන දැවෙන්නේය යන මේ කරුණ වෙයි.
මහණෙනි, ඉදින් රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන ඒකාන්තකොට දියෙන් ඉස්නේ නම් ඒ රන නිවෙන්නේය යන මෙකරුණ වෙයි.
මහණෙනි, ඉදින් තුලාරෙක් හෝ තුලාර අතවැසියෙක් හෝ ඒ රන ඒකාන්තකොට සොයා බලන්නේ නම් ඒ රන මැනැවින් පරිපාකයට නොයන්නේය යන මෙ කරුණ වෙයි.
මහණෙනි, යම් කලෙක රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන කලින් කල ඉදිරි කොට ගෙන පිඹින්නේ ද කලින් කල දියෙන් ඉස්නේ ද කලින් කල සොයා බලන්නේ ද ඒ රන මෘදුත් වෙයි. කර්මණ්යත් වෙයි. ප්රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නොවෙයි. මැනැවින් කර්මාන්තයට වැදෙයි. රන්පට්ට වේවයි, කොඬොලට වේවයි, ග්රීවාඞ්කාරයෙහි වේවයි, රන්මලට වේවයි යම් යම් පිලන්ධන විකෘතියකට කැමැති වේ ද, ඒ අර්ත්ථය ද වළඳ කෙරේ.
මහණෙනි, එ පරිදි ම අධිචිත්තයෙහි යෙදුනු මහණහු විසින් කාරණයෝ තුන් දෙනෙක් කලින් කල මෙනෙහි කළ යුත්තාහ: කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල ප්රග්රහනිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල උපේක්ෂානිමිත්ත මෙනෙහි කළ යුතුය.
මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට සමාධිනිමිත්ත ම මෙනෙහි කෙරේ ද, ඒ සිත කුසීත බවට වැටෙන්නේය යන මෙකරුණ වෙයි.
මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට ප්රග්රහනිමිත්ත ම මෙනෙහි කෙරේ ද, ඒ සිත උද්ධතභාවයට වැටෙන්නේය යන මෙකරුණ වෙයි.
මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට උපේක්ෂානිමිත්ත ම මෙනෙහි කෙරේ ද, ඒ සිත ආස්රවයන්ගේ ක්ෂය සඞ්ඛ්යාත අර්හත්ඵලය පිණිස මැනැවින් සමාධිගත නො වන්නේය යන මෙ කරුණ වෙයි.
මහණෙනි, යම් කලෙක අධිචිත්තයෙහි යෙදුනු මහණ කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කෙරේ ද, කලින් කල ප්රග්රහනිමිත්ත මෙනෙහි කෙරේ ද, කලින් කල උපේක්ෂානිමිත්ත මෙනෙහි කෙරේ ද ඒ සිත මෘදුත් කර්මණ්යත් වෙයි. ප්රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නොවෙයි. ආස්රවයන්ගේ ක්ෂය සඞ්ඛ්යාත අර්හත්ඵලය පිණිස මැනැවින් සමාධිගත වෙයි. විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කිරීම පිණිස විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කළ යුතු යම් යම් දහමකට සිත නතු කෙරේ ද, කරුණ ඇති ඇති වත්ම ඒ ඒ කාරියෙහි ලා පසක් කිරීමෙහි භව්යතාවට පැමිණේ.
ඉදින් ඒ මහණ බහුප්රකාර ඍද්ධිප්රභේදය වළඳන්නෙම්ව යි ... කැමති වන්නේ නම් [මෙහි පෙය්යාල මුඛයෙන් ෂඩභිඥා චිත්තය දතයුතුයි.] ඉදින් ඒ මහණ “ආස්රවක්ෂයෙන් අනාස්රව වූ චිත්තවිමුක්තිය ද ප්රඥාවිමුක්තිය ද ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ඊට එළඹ වෙසෙම්ව” යි කැමැති වන්නේ නම්, කරුණ ඇති ඇති වත්ම ඒ ඒ කාරියෙහි පසක් කිරීමෙහි භව්යතාවට පැමිණේ.
පස්වැනි ලෝණඵල වර්ගය යි.
දෙවන මහාපණ්ණාසකය සමාප්තයි.