3. 2. 5. 3.
44. මහණෙනි, යම් සේ සරත් කාලයෙහි අහස පහ වූ වලා ඇති ව පහන් ව සිටි කල හිරු අහසට නැගෙමින් අහස්හි වන් හැම අඳුරු නසා බබලන්නේ වේ ද, රස් පතුරුවන්නේ වේ ද, දිලෙන්නේ වේ ද.
මහණෙනි, එපරිදි ම යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාට රාගාදි රජස් නැති රාගාදි මල නැති ධර්‍මචක්‍ෂුස පහළ වී ද, මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ශ්‍රෝතාපත්තිමාර්‍ගෝත්පාදය සමග ත්‍රිවිධ සංයෝජනයෝ පහව යෙත්. සත්කායදෘෂ්ටිය විචිකිත්සාය ශීලව්‍රතපරාමර්‍ශ යි.
අනතුරුව අභිධ්‍යා හා ව්‍යාපාදයෙන් දැයි දෙදහමින් නිර්‍ය්‍යාණය කෙරෙයි. හේ කාමයෙන් වෙන්ව ම ... ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, එසමයෙහි ආර්‍ය්‍යශ්‍රාවක කලුරිය කරන්නේ වේ ද, යම් සංයෝජනයෙකින් සංයුක්ත ආර්‍ය්‍යශ්‍රාවකයෙක් නැවත මෙලොවට එන්නේ වේ ද, එබඳු සංයෝජනයෙක් ඔහුට නැත.
3. 2. 5. 4.
45. මහණෙනි, මේ පර්‍ෂද්හු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අග්‍රවත් පර්‍ෂද් ය, වර්‍ගපර්‍ෂද් ය, සමග්‍රපර්‍ෂද් යයි.
මහණෙනි, අග්‍රවත් පර්‍ෂද් කවර?
මහණෙනි, මෙසස්නෙහි යම් පර්‍ෂදයෙක ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍යය බාහුල්‍යය නැත්තාහු වෙද් ද, ශික්‍ෂාශාසනය ලිහිල් කොට නො ගන්නාහු වෙද් ද, පඤ්චනීවරණයෙහි හළ ධුර ඇත්තාහු වෙද් ද, ප්‍රවිවේකයෙහි පූර්‍වඞ්ගම වෙත් ද, නො ලත් විශේෂය ලබනු පිණිස, අනධිගත විශේෂය අධිගම කරණු පිණිස, පසක් නො කළ විශේෂය පසක් කරණු පිණිස වැර අරඹත් ද, ඔවුන්ගේ පශ්චිම ජනතා තොමෝ දෘෂ්ටානුගතියට පැමිණේ ද, ඒ ජනතාවත් බාහුලික නො වේ ද, ශික්‍ෂාශාසනය ලිහිල් කොට නොගණී ද, පඤ්චනීවරණයෙහි හළ ධුර ඇද්ද, ප්‍රවිවේකයෙහි පූර්‍වඞ්ගම වේ ද, නොලත් විශේෂය ලබනු පිණිස අනධිගත විශේෂය අධිගම කරණු පිණිස පසක් නො කළ විශේෂය පසක් කරණු පිණිස වැර අරඹා ද, මහණෙනි, මේ අග්‍රවත් පර්‍ෂදැයි කියනු ලැබේ.
මහණෙනි, වර්‍ගපර්‍ෂද් කවර?
මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු පුරිස් තෙපුල් සැතින් උනුන් විදුනාහු වෙසෙත් ද, මහණෙනි, මේ වර්‍ගපර්‍ෂදැයි කියනු ලැබේ.
මහණෙනි, සමග්‍ර පර්‍ෂද් කවර?
මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්‍ෂීරෝදක බඳු වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මේ සමග්‍රපර්‍ෂදැයි කියනු ලැබේ.
මහණෙනි, යම් කලෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්‍ෂීරෝදක බඳු වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, එකල මහණහු බොහෝ පින් රැස් කෙරෙත්. මහණෙනි, යම් මේ මෘදුතා වෙතොවිමුක්තියෙක් වේ ද, එයින් එකල මහණහු බ්‍රහ්මවිහාරය කෙරෙති. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. ප්‍රීතිමත් සිතැත්තාහට කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳියි. සුව ඇතියහුගේ සිත සමාධිගත වෙයි.
මහණෙනි, යම් පරිදි ගල්මුදුනෙක දළ පොද ඇති මෙඝයක් වස්නා කළ ඒ දිය නිම්න තුබූ සේ පෙරළෙමින් අවුදු පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛාවන් පුරවා ද, ගල්කඳුර පැළී ඇලිහු පිරුනාහු කුඩා හෙප් පුරවත් ද, කුඩා හෙප්හු පිරුනාහු මහ හෙප් පුරවත් ද, මහහෙප්හු පිරුනාහු කුඩා නදීන් පුරවත් ද, කුඩා නදීහු පිරුනාහු මහා නදීන් පුරවත් ද, මහානදීහු පිරුනාහු මුහුද පුරවත් ද මහණෙනි, එපරිදි යම් කලෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්‍ෂීරෝදක බඳු වූවාහු ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, එකල මහණහු බොහෝ පින් රැස් කෙරෙත්. මහණෙනි, යම් ඒ මෘදුතා වෙතොවිමුක්තියෙක් වේ ද, එයින් එකල මහණහු බ්‍රහ්මවිහාරය කෙරෙත් ප්‍රමුදිතයාහට ප්‍රීතිය හටගණී. ප්‍රීතිමත් සිතැතියහුගේ කය සන්හිඳේ සන්හුන් කය ඇතියේ සුව විඳී, සුව ඇතියහුගේ සිත සමාධිගත වෙයි.
මහණෙනි, මේ ත්‍රිවිධ පර්‍ෂද්හු යි.