3. 2. 5. 4.
45. මහණෙනි, මේ පර්ෂද්හු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අග්රවත් පර්ෂද් ය, වර්ගපර්ෂද් ය, සමග්රපර්ෂද් යයි.
මහණෙනි, අග්රවත් පර්ෂද් කවර?
මහණෙනි, මෙසස්නෙහි යම් පර්ෂදයෙක ස්ථවිර භික්ෂූහු ප්රත්යය බාහුල්යය නැත්තාහු වෙද් ද, ශික්ෂාශාසනය ලිහිල් කොට නො ගන්නාහු වෙද් ද, පඤ්චනීවරණයෙහි හළ ධුර ඇත්තාහු වෙද් ද, ප්රවිවේකයෙහි පූර්වඞ්ගම වෙත් ද, නො ලත් විශේෂය ලබනු පිණිස, අනධිගත විශේෂය අධිගම කරණු පිණිස, පසක් නො කළ විශේෂය පසක් කරණු පිණිස වැර අරඹත් ද, ඔවුන්ගේ පශ්චිම ජනතා තොමෝ දෘෂ්ටානුගතියට පැමිණේ ද, ඒ ජනතාවත් බාහුලික නො වේ ද, ශික්ෂාශාසනය ලිහිල් කොට නොගණී ද, පඤ්චනීවරණයෙහි හළ ධුර ඇද්ද, ප්රවිවේකයෙහි පූර්වඞ්ගම වේ ද, නොලත් විශේෂය ලබනු පිණිස අනධිගත විශේෂය අධිගම කරණු පිණිස පසක් නො කළ විශේෂය පසක් කරණු පිණිස වැර අරඹා ද, මහණෙනි, මේ අග්රවත් පර්ෂදැයි කියනු ලැබේ.
මහණෙනි, වර්ගපර්ෂද් කවර?
මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු පුරිස් තෙපුල් සැතින් උනුන් විදුනාහු වෙසෙත් ද, මහණෙනි, මේ වර්ගපර්ෂදැයි කියනු ලැබේ.
මහණෙනි, සමග්ර පර්ෂද් කවර?
මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්ෂීරෝදක බඳු වූවාහු උනුන් ප්රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මේ සමග්රපර්ෂදැයි කියනු ලැබේ.
මහණෙනි, යම් කලෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්ෂීරෝදක බඳු වූවාහු උනුන් ප්රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, එකල මහණහු බොහෝ පින් රැස් කෙරෙත්. මහණෙනි, යම් මේ මෘදුතා වෙතොවිමුක්තියෙක් වේ ද, එයින් එකල මහණහු බ්රහ්මවිහාරය කෙරෙති. ප්රමුදිතයාහට ප්රීතිය උපදී. ප්රීතිමත් සිතැත්තාහට කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳියි. සුව ඇතියහුගේ සිත සමාධිගත වෙයි.
මහණෙනි, යම් පරිදි ගල්මුදුනෙක දළ පොද ඇති මෙඝයක් වස්නා කළ ඒ දිය නිම්න තුබූ සේ පෙරළෙමින් අවුදු පර්වත කන්දර ප්රදර ශාඛාවන් පුරවා ද, ගල්කඳුර පැළී ඇලිහු පිරුනාහු කුඩා හෙප් පුරවත් ද, කුඩා හෙප්හු පිරුනාහු මහ හෙප් පුරවත් ද, මහහෙප්හු පිරුනාහු කුඩා නදීන් පුරවත් ද, කුඩා නදීහු පිරුනාහු මහා නදීන් පුරවත් ද, මහානදීහු පිරුනාහු මුහුද පුරවත් ද මහණෙනි, එපරිදි යම් කලෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්ෂීරෝදක බඳු වූවාහු ප්රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, එකල මහණහු බොහෝ පින් රැස් කෙරෙත්. මහණෙනි, යම් ඒ මෘදුතා වෙතොවිමුක්තියෙක් වේ ද, එයින් එකල මහණහු බ්රහ්මවිහාරය කෙරෙත් ප්රමුදිතයාහට ප්රීතිය හටගණී. ප්රීතිමත් සිතැතියහුගේ කය සන්හිඳේ සන්හුන් කය ඇතියේ සුව විඳී, සුව ඇතියහුගේ සිත සමාධිගත වෙයි.
මහණෙනි, මේ ත්රිවිධ පර්ෂද්හු යි.
3. 2. 5. 5.
46. මහණෙනි, ගුණාඞ්ග තුණෙකින් සමන්වාගත වූ රාජකීය, භද්ර ආජානේය අශ්වයා රජුට නිසි වෙයි. රජුට උපභෝග වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.
කවර අඞ්ග තුණෙකින යත්:
මහණෙනි, මෙලොව රජුගේ භද්ර ආජානීය අශ්ව වර්ණසම්පන්න ද වෙයි. කායබලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මේ ගුණාඞ්ග තුණින් සමන්වාගත රාජකීය භද්ර අශ්වාජානේය රාජාර්හ වෙයි. රාජභෝග්ය ද වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ.
මහණෙනි, එපරිදි ම ධර්ම තුණෙකින් සමන්වාගත මහණ ආහුති සඞ්ඛ්යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ප්රාඝුණ සඞ්ඛ්යාත ආගන්තුග භක්තයට නිසි වෙයි, දක්ෂිණාවට නිසි වෙයි. අඤ්ජලිකරණයට නිසි වෙයි. සර්වලෝකයට අසදෘශ පුණ්යක්ෂේත්ර ද වෙයි.
කවර තුණෙකින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ගුණවර්ණයෙන් යුක්ත වූයේ ද වෙයි. වීර්ය්යබලයෙන් යුක්ත වූයේ ද වෙයි. ඥානජවයෙන් යුක්ත වූයේ ද වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ගුණවර්ණයෙන් යුක්ත වූයේ වේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂසංවරයෙන් සංවෘත ව වෙසෙයි. ආචාරගෝචර දෙකින් යුක්ත වෙයි. අණුමාත්ර වරදෙහිත් බිය දක්නා සුලු වෙයි. ශික්ෂාපද විෂයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්ණසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ වීර්ය්යබලයෙන් යුක්ත වූයේ වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ අකුශලධර්මයන්ගේ ප්රහාණය පිණිස කුශලධර්මයන්ගේ උපසම්පත්තිය පිණිස පටන් ගත් වැර ඇතියේ වෙසෙයි. ඥානස්ථාමයෙන් යුක්ත වූයේ වෙයි. දෘඪපරාක්රම ඇත්තේ වෙයි. කුසල් දහම්හි නො තැබූ ධුර ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ඥානජවයෙන් යුක්ත වූයේ වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී. ... “මේ දුඃඛ නිරොධගාමිනී ප්රතිපදාය” යි යථාභූතය දනී. මහණෙනි, මෙසේ මහණ ඥානජවසම්පන්න වෙයි.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත මහණ ආහුති සඞ්ඛ්යාත පිණ්ඩපාතයට නිසි වෙයි ... සර්වලෝකයට අසදෘශ පුණ්යක්ෂේත්ර වෙයි.