3. 2. 5. 2.
43. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ මේ ප්රවිවේක තුණ පණවත්
කවර තුණෙක යත්:
චීවර ප්රවිවේකය, පිණ්ඩපාත ප්රවිවේකය, ශයනාසන ප්රවිවේකය යි.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ චීවර ප්රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙත්: සණවැහැරි ද ධරත්. මුසු පිළී ද ධරත්. මිනියෙන් නෙළ වත් ද ධරත්. බිම ලූ මහලු පිළී ද ධරත්. රුක්පොතුමුවා පිළී ද ධරත්. අඳුන්මුවසමුදු ධරත්. මැදින් පැළු අඳුන්මුවසමුදු ධරත්. කුසවැහැරි ද ධරත්. වක්කලමුදු ධරත්. පුවරු වැහැරි ද ධරත්. කෙස්මුවා කම්බිලි ද ධරත්. අස්ලොම්මුවා කම්බිලි ද ධරත්. මහමුහුනු පියායෙන් කළ පිළී ද ධරත් මහණෙනි, අන්තොටු පිරිවැජියෝ චීවරප්රවිවේකයෙහි ලා මෙය පණවත්.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ පිණ්ඩපාතප්රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙත්: පලා වළඳනුවෝ ද වෙත්. බඩහමු වළඳනුවෝ ද වෙත්. හුරුහැල් වළඳනුවෝ ද වෙත්. සම්කසළ වළඳනුවෝ ද වෙති, ලහටු හෝ සෙවෙල් වළඳනුවෝ ද වෙති. කුඩු වළඳනුවෝ ද වෙති. දමුබත් වළඳනුවෝ ද වෙති. පුනකු වළඳනුවෝ ද වෙති. තණ වළඳනුවෝ ද වෙත්. ගොම වළඳනුවෝ ද වෙති. වනමුල් පිලි අහර කොට ඇති ව යපෙත්. තුවටුවෙන් ගුළු පල වළඳන සුලු ද වෙති. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ පිණ්ඩපාතප්රවිවේකයෙහි ලා මේ පණවත්.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ ශයනාසනප්රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙති: අරණ්යය, වෘක්ෂමූලය, සමශානය, වානප්රස්තය, අභ්යවකාශය, පලාලපුඤ්ජය, කලවිටිහල යන මේ ය. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ශයනාසන ප්රවිවේක විෂයෙහි ලා මෙය පණවත්.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ මේ ප්රවිවේක තුණ පණවත්.
මහණෙනි, මේ ශාසනයෙහි මහණහට මේ ප්රවිවේකයෝ තුන් දෙනෙක් ඇත.
කවර තුන් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් ද වෙයි. ඔහුගේ පස්වැදෑරුම් දෞශශීල්යය ද ප්රහත වෙයි. එයින් විවික්ත ද වෙයි. සම්යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහත වෙයි. එයින් විවික්ත ද වෙයි. ක්ෂීණාස්රව ද වෙයි. ඔහුගේ ආස්රවයෝ ද ප්රහත වෙත්. එයින් විවික්ත ද වෙයි.
මහණෙනි, යම් කලෙක මහණ සියුපිරිසිදු ශීලයෙන් සිල්වත් වේ ද, ඔහුගේ පස්වැදෑරුම් දෞශශීල්යය ප්රහත වේ ද, එයින් විවික්තත් වේ ද, සම්යග්දෘෂ්ටික වේ ද, ඔහුගේ මිථ්යාදෘෂ්ටියත් ප්රහත වේ ද, එයින් විවික්තත් වේ ද, ක්ෂීණාස්රවත් වේ ද, ඔහුගේ ආස්රවයෝ ප්රහත වෙත් ද, එයින් විවික්තත් වේ ද, මහණෙනි, මේ මහණ ශීලයෙන් අගතැන් පැමිණියේ යයි ශීලසාරය ලද්දේ යයි පිරිසිදු යයි ශීල සමාධි ප්රඥා සාරයෙහි පිහිටියේ යයි කියනු ලැබේ.
මහණෙනි, යම් පරිදි කර්ෂකගෘහපතිහුගේ පිරියුනු ශාලික්ෂේත්රයෙක් වේ ද, කර්ෂකගෘහපති ඒ කෙත වහ වහා වපුරවන්නේ වේ ද, වහ වහා වපුරවා වහ වහා ගොයම් හකුළුවන්නේ වේ ද, වහ වහා හකුළුවා වහ වහා කලවිටට එළවා ලවන්නේ වේ ද, වහ වහා එළවා ලවා වහ වහා පිඬු කරවන්නේ වේ ද, වහ වහා පිඬු කරවා වහ වහා මඩවන්නේ වේ ද, වහ වහා මඩවා වහ වහා පිදුරු උදුරවන්නේ වේ ද, වහ වහා පිදුරු උදුරවා වහ වහා බොල් උදුරවන්නේ වේ ද, වහ වහා බොල් උදුරවා වහ වහා හුළඟෙහි පොළවන්නේ වේ ද, වහ වහා කොටුවට නංවා වහ වහා කොටවන්නේ වේ ද, වහ වහා කොටවා වහ වහා දහසිවි උදුරවන්නේ වේ ද. මහණෙනි, මෙසේ කරත් ම කර්ෂකගෘහපතිහුගේ ඒ ධාන්යයෝ සහලින් අගතැන් පැමිණියාහු වෙති. සාරබවට පැමිණියාහු වෙති. ශුද්ධවූවාහු වෙති. සාරයෙහි පිහිටියාහු වෙති.
මහණෙනි, එපරිදි ම මහණ චතුෂ්පාරිශුද්ධ ශීලයෙන් සිල්වත් වේ ද, ඔහුගේ පස් වැදෑරුම් දෞශශීල්යය ප්රහත වේ ද, එයින් විවික්තත් වේ ද, සම්යග්දෘෂ්ටිකත් වේ ද, ඔහුගේ මිථ්යාදෘෂ්ටියත් ප්රහත වේ ද, එයින් විවික්තත් වේ ද, ක්ෂීණාස්රවත් වේ ද, ඔහුගේ ආස්රවයෝත් ප්රහත වෙත් ද, එයින් විවික්තත් වේ ද, මහණෙනි, මේ මහණ ශීලයෙන් අගතැන් පැමිණියේ යයි ශීලසාරය ලද්දේ යයි ශුද්ධ යයි ශීල සමාධි ප්රඥාසාරයෙහි පිහිටියේ යයි කියනු ලැබේ.
3. 2. 5. 3.
44. මහණෙනි, යම් සේ සරත් කාලයෙහි අහස පහ වූ වලා ඇති ව පහන් ව සිටි කල හිරු අහසට නැගෙමින් අහස්හි වන් හැම අඳුරු නසා බබලන්නේ වේ ද, රස් පතුරුවන්නේ වේ ද, දිලෙන්නේ වේ ද.
මහණෙනි, එපරිදි ම යම් කලෙක ආර්ය්යශ්රාවකයාට රාගාදි රජස් නැති රාගාදි මල නැති ධර්මචක්ෂුස පහළ වී ද, මහණෙනි, ආර්ය්යශ්රාවකයාගේ ශ්රෝතාපත්තිමාර්ගෝත්පාදය සමග ත්රිවිධ සංයෝජනයෝ පහව යෙත්. සත්කායදෘෂ්ටිය විචිකිත්සාය ශීලව්රතපරාමර්ශ යි.
අනතුරුව අභිධ්යා හා ව්යාපාදයෙන් දැයි දෙදහමින් නිර්ය්යාණය කෙරෙයි. හේ කාමයෙන් වෙන්ව ම ... ප්රථමධ්යානයට එළඹ වෙසෙයි. මහණෙනි, එසමයෙහි ආර්ය්යශ්රාවක කලුරිය කරන්නේ වේ ද, යම් සංයෝජනයෙකින් සංයුක්ත ආර්ය්යශ්රාවකයෙක් නැවත මෙලොවට එන්නේ වේ ද, එබඳු සංයෝජනයෙක් ඔහුට නැත.