3. 2. 5. 1.
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, සීසානා ගැහැවිහුගේ මේ අතික් ආවශ්යක කෘත්යයෝ තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්:
මහණෙනි, මෙලොව සීසානා ගැහැවි වහ වහා කෙත මොනොවට සානා ලද්දක් පුවරු ගා සම කරණ ලද්දක් කෙරෙයි. වහ වහා කෙත මොනොවට සාට තැනක් මොනොවට පුවරු ගා සම කළ තැනැක් කොට වහ වහා බිජු පිහිටුවයි. වහ වහා බිජු පිහිටුවා වහ වහා දිය එළවීමුදු නෙරීමුදු කෙරෙයි. මහණෙනි, සානා ගැහැවිහුගේ මේ අතික් ආවශ්යක කෘත්යයෝ තුන් දෙනහ.
මහණෙනි, ඒ සානා ගෙහෙවිහුගේ “අද ම මාගේ ධාන්යයෝ නැඟෙත්වා, සෙට ම ගර්භිත වෙත්වා, අනෙක් (තෙවන) දා ම පැසෙත්වා” යි එබඳු ඍද්ධියෙක් වේ ව යි අනුභාවයෙක් වේව යි නැත. වැලිදු මහණෙනි, යම් හෙයෙකින් ඒ සානා ගෙහෙවිහුගේ ඍතුපරිණාමයට පත් ඒ ධාන්යයෝ නැගෙත් ද, ගර්භිතත් වෙද්ද, පැසෙද්ද, එබඳු කලෙක් වෙයි.
මහණෙනි, එපරිදි ම මහණහුගේ මේ අතික් ආවශ්යක කෘත්යයෝ තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්:
අධිශීලශික්ෂා සමාදානය අධිචිත්තශික්ෂා සමාදානය අධිප්රඥාශික්ෂා සමාදාන යි. මහණෙනි, මොහු තුන් දෙනා මහණහුගේ අතික් ආවශ්යක කෘත්යයෝ යි.
මහණෙනි, ඒ මහණහුගේ “අද ම මාගේ සිත උපාදා විසින් නො ගෙණ ආස්රවයන් කෙරෙන් මිදේව යි හෝ සෙට හෝ අනෙක් දා හෝ මිදේව යි කියා හෝ එබඳු ඍද්ධියෙක් වේව යි අනුභාවයෙක් වේව” යි නැත. වැලිදු මහණෙනි, යම් හෙයෙකින් අධිශීලයෙහි හික්මෙන අධිචිත්තයෙහි හික්මෙන අධිප්රඥායෙහි හික්මෙන ඒ මහණහුගේ සිත උපාදා විසින් නො ගෙණ මිදේ නම් එබඳු කලෙක් වෙයි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය: “අපගේ තීව්ර ඡන්දයෙක් අධිශීලශික්ෂා සමාදානයෙහි වෙයි. තීව්ර ඡන්දයෙක් අධිචිත්ත ශික්ෂා සමාදානයෙහි වෙයි. තීව්ර ඡන්දයෙක් අධිප්රඥාශික්ෂා සමාදානයෙහි වෙයි”. මහණෙනි, මෙසේ ම තොප හික්මෙන්නේ ය.
3. 2. 5. 2.
43. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ මේ ප්රවිවේක තුණ පණවත්
කවර තුණෙක යත්:
චීවර ප්රවිවේකය, පිණ්ඩපාත ප්රවිවේකය, ශයනාසන ප්රවිවේකය යි.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ චීවර ප්රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙත්: සණවැහැරි ද ධරත්. මුසු පිළී ද ධරත්. මිනියෙන් නෙළ වත් ද ධරත්. බිම ලූ මහලු පිළී ද ධරත්. රුක්පොතුමුවා පිළී ද ධරත්. අඳුන්මුවසමුදු ධරත්. මැදින් පැළු අඳුන්මුවසමුදු ධරත්. කුසවැහැරි ද ධරත්. වක්කලමුදු ධරත්. පුවරු වැහැරි ද ධරත්. කෙස්මුවා කම්බිලි ද ධරත්. අස්ලොම්මුවා කම්බිලි ද ධරත්. මහමුහුනු පියායෙන් කළ පිළී ද ධරත් මහණෙනි, අන්තොටු පිරිවැජියෝ චීවරප්රවිවේකයෙහි ලා මෙය පණවත්.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ පිණ්ඩපාතප්රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙත්: පලා වළඳනුවෝ ද වෙත්. බඩහමු වළඳනුවෝ ද වෙත්. හුරුහැල් වළඳනුවෝ ද වෙත්. සම්කසළ වළඳනුවෝ ද වෙති, ලහටු හෝ සෙවෙල් වළඳනුවෝ ද වෙති. කුඩු වළඳනුවෝ ද වෙති. දමුබත් වළඳනුවෝ ද වෙති. පුනකු වළඳනුවෝ ද වෙති. තණ වළඳනුවෝ ද වෙත්. ගොම වළඳනුවෝ ද වෙති. වනමුල් පිලි අහර කොට ඇති ව යපෙත්. තුවටුවෙන් ගුළු පල වළඳන සුලු ද වෙති. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ පිණ්ඩපාතප්රවිවේකයෙහි ලා මේ පණවත්.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ ශයනාසනප්රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙති: අරණ්යය, වෘක්ෂමූලය, සමශානය, වානප්රස්තය, අභ්යවකාශය, පලාලපුඤ්ජය, කලවිටිහල යන මේ ය. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ශයනාසන ප්රවිවේක විෂයෙහි ලා මෙය පණවත්.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ මේ ප්රවිවේක තුණ පණවත්.
මහණෙනි, මේ ශාසනයෙහි මහණහට මේ ප්රවිවේකයෝ තුන් දෙනෙක් ඇත.
කවර තුන් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් ද වෙයි. ඔහුගේ පස්වැදෑරුම් දෞශශීල්යය ද ප්රහත වෙයි. එයින් විවික්ත ද වෙයි. සම්යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහත වෙයි. එයින් විවික්ත ද වෙයි. ක්ෂීණාස්රව ද වෙයි. ඔහුගේ ආස්රවයෝ ද ප්රහත වෙත්. එයින් විවික්ත ද වෙයි.
මහණෙනි, යම් කලෙක මහණ සියුපිරිසිදු ශීලයෙන් සිල්වත් වේ ද, ඔහුගේ පස්වැදෑරුම් දෞශශීල්යය ප්රහත වේ ද, එයින් විවික්තත් වේ ද, සම්යග්දෘෂ්ටික වේ ද, ඔහුගේ මිථ්යාදෘෂ්ටියත් ප්රහත වේ ද, එයින් විවික්තත් වේ ද, ක්ෂීණාස්රවත් වේ ද, ඔහුගේ ආස්රවයෝ ප්රහත වෙත් ද, එයින් විවික්තත් වේ ද, මහණෙනි, මේ මහණ ශීලයෙන් අගතැන් පැමිණියේ යයි ශීලසාරය ලද්දේ යයි පිරිසිදු යයි ශීල සමාධි ප්රඥා සාරයෙහි පිහිටියේ යයි කියනු ලැබේ.