3. 2. 4. 8.
38. මහණෙනි තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙකැ හික්මෙත් නම් මේ එබඳු සාධික යෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේනම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන්දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සඞ්ග්‍රහයට යේ නම් මේ එබඳු ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි.
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි, සමාධියෙහි පරිපූරකාරී වෙයි, ප්‍රඥායෙහි පරිපූරකාරී වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි.
ඒ අර්‍හත්ත්‍වය හෝ නො විදුනේ නො පිළිවිදුනේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ‘අන්තරාපරිනිබ්බායී’ වෙයි.
ඒ අන්තරාපරිනිබ්බායී භාවය හෝ නො විදුනේ නො පිළිවිදුනේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් “උපහච්චපරිනිබ්බායී” වෙයි ...
අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. ... සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. ... අකනිට්ඨගාමීඋද්ධංසෝත වෙයි. ...
ඒ උද්ධංසෝත අකනිට්ඨභාවය හෝ නො විදුනේ නො පිළිවිදුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන් තුනු කිරීමෙන් සෙදගැමි වෙයි. වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි.
ඒ සෙද ගැමි බව හෝ නො විදුනේ නො පිළිවිඳුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඒකබීජී වෙයි, එක් ම මිනිස්බවක් නිපයා දුක් කෙළවර කෙරෙයි.
ඒ මිනිස්බව හෝ නොවිදුනේ නො පිළිවිදුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් කොලංකොල වෙයි, භව දෙකක් හෝ තුණක් දිවැ ඇවිද දුක් කෙළවර කෙරෙයි.
ඒ කොලංකොල බව හෝ නො විදුනේ නො පිළිවිදුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සත්තක්ඛත්තුපරම වෙයි. සත්වරක් පරම කොට දෙව්ලොව ද මිනිස්ලොව ද දිවැ ඇවිදැ දුක් කෙළවර කෙරෙයි.
මහණෙනි, මෙසේ පරිපූරකාරී පුද්ගල පරිපූර්‍ණාර්‍ත්‍ථය සපයයි. ප්‍රදේශකාරී පුද්ගල ප්‍රදේශාර්‍ත්‍ථය සපයයි.
මහණෙනි, මම “සිකපදහු නො වඳ හ” යි වදාරමි යි.
3. 2. 4. 9.
39. මහණෙනි, මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥා ශික්‍ෂා යි.
මහණෙනි, අධිශීලශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදාන කොට සිකපෙදෙහි හික්මෙයි. මහණෙනි, මේ අධිශීලශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, අධිචිත්තශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිචිත්ත ශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, අධිප්‍රඥාශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ය” යි යථාභූතය දනී. මහණෙනි, මේ අධිප්‍රඥා ශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, මේ ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි.
3. 2. 4. 10.
40. මහණෙනි, මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි.
මහණෙනි, අධිශීලශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදාන කොට ශික්‍ෂා පදයෙහි හික්මෙයි. මහණෙනි, මේ අධිශීලශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, අධිචිත්තශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිචිත්තශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, අධිප්‍රඥාශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිප්‍රඥාශික්‍ෂා යි (අර්‍හත්ත්‍වමාර්‍ග යි) කියනු ලැබේ.
මහණෙනි, මේ ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි.
39. (චෛතසිකවීර්‍ය්‍යයෙන්) වීර්‍ය්‍යවත් වූ (කායිකවීර්‍ය්‍යයෙන්) ස්ථාමවත් වූ ධෛර්‍ය්‍යවත් වූ ධ්‍යාන කරණ සුලු ස්මෘතිමත් වූ සංයත ඉඳුරන් ඇති මහණ අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවන් පුරන්නේ ය.
40. යම් පරිදි පළමු දවස් ත්‍රිවිධ ශික්‍ෂාවන් පිරී ද පසු දවසුදු එසේ ම පුරන්නේ ය. පසු දවස් යම්සේ පුරන්නේ ද පළමු දවස්හිදු එසේ ම වෙයි. යම් පරිදි යට කය අශුභවශයෙන් දක්නේ ද එපරිදි උඩුකය ද දක්නේ ය. යම් පරිදි උඩුකය දක්නේ ද එපරිදි යටිකය ද දක්නේ ය.
41. යම් පරිදි දාවල ත්‍රිවිධ ශික්‍ෂාවන් පුරන්නේ ද, රැය ද එසේ ම පුරන්නේය. යම් පරිදි රැයෙහි පුරන්නේ ද දාවල ද එසේ ම පුරන්නේ ය. අර්‍හත්ත්‍වමාර්‍ගසමාධියෙන් හැම දික් (=අරමුණු) මැඩ ගෙණ සිටුනේ ය.