3. 2. 4. 9.
39. මහණෙනි, මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥා ශික්‍ෂා යි.
මහණෙනි, අධිශීලශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදාන කොට සිකපෙදෙහි හික්මෙයි. මහණෙනි, මේ අධිශීලශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, අධිචිත්තශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිචිත්ත ශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, අධිප්‍රඥාශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ය” යි යථාභූතය දනී. මහණෙනි, මේ අධිප්‍රඥා ශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, මේ ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි.
3. 2. 4. 10.
40. මහණෙනි, මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි.
මහණෙනි, අධිශීලශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදාන කොට ශික්‍ෂා පදයෙහි හික්මෙයි. මහණෙනි, මේ අධිශීලශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, අධිචිත්තශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිචිත්තශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, අධිප්‍රඥාශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිප්‍රඥාශික්‍ෂා යි (අර්‍හත්ත්‍වමාර්‍ග යි) කියනු ලැබේ.
මහණෙනි, මේ ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි.
39. (චෛතසිකවීර්‍ය්‍යයෙන්) වීර්‍ය්‍යවත් වූ (කායිකවීර්‍ය්‍යයෙන්) ස්ථාමවත් වූ ධෛර්‍ය්‍යවත් වූ ධ්‍යාන කරණ සුලු ස්මෘතිමත් වූ සංයත ඉඳුරන් ඇති මහණ අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවන් පුරන්නේ ය.
40. යම් පරිදි පළමු දවස් ත්‍රිවිධ ශික්‍ෂාවන් පිරී ද පසු දවසුදු එසේ ම පුරන්නේ ය. පසු දවස් යම්සේ පුරන්නේ ද පළමු දවස්හිදු එසේ ම වෙයි. යම් පරිදි යට කය අශුභවශයෙන් දක්නේ ද එපරිදි උඩුකය ද දක්නේ ය. යම් පරිදි උඩුකය දක්නේ ද එපරිදි යටිකය ද දක්නේ ය.
41. යම් පරිදි දාවල ත්‍රිවිධ ශික්‍ෂාවන් පුරන්නේ ද, රැය ද එසේ ම පුරන්නේය. යම් පරිදි රැයෙහි පුරන්නේ ද දාවල ද එසේ ම පුරන්නේ ය. අර්‍හත්ත්‍වමාර්‍ගසමාධියෙන් හැම දික් (=අරමුණු) මැඩ ගෙණ සිටුනේ ය.
42. සකරණීය වූ ඔහු පිළිපන්නකු කොට කියත්. වැලිත් පිරිසිදු සිල් ඇති ඔහු ලෝකයෙහි චතුස්සත්‍යාවබෝධය කළ පිළිවෙත්හි කෙළවරට ගිය වීර වූ ධිතිසම්පන්නයකු කොට කියත්.
43. තෘෂ්ණාක්‍ෂය විමුක්ති සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වඵලවිමුක්තියෙන් සමන්‍වාගත ඒ ආර්‍ය්‍යපුද්ගලයාගේ චරමවිඥානයාගේ නිරෝධයෙන් ප්‍රදීපනිර්‍වාණයක් මෙන් චිත්තයාගේ විමුක්තිය වේ.
3. 2. 4. 11.
[කොසොල්නිදාන යි]
41. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි මහත් බික්සඟුන් සමග සැරි සරණ සේක් කෝශලයන්ගේ පඞ්කධා නම් නියම්ගමට වැඩි සේක. එහි කෝශලයන්ගේ ‘පඞ්කධා’ නම් නියම් ගමෙක් වේ ද ඒ ‘පඞ්කධා’ යෙහි වැඩ වෙසෙති.
එසමයෙහි කුසුබුගොතු නම් මහණ පඞ්කධායෙහි ආවාසික වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් සඟුන් දක්වත්. කරුණු බැණ සමාදන් කරවත්. උත්සාහ දනවත්. පහදවත්.
ඉක්බිති කසුබුගොතු මහණහට භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ දනවත් ම පහදවත් ම අක්‍ෂාන්තිය වී මැ ය. නො සතුටෙක් වී ම ය. ‘මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් සියුම් සියුම් කොට බෙණේය’ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඞ්කධායෙහි කැමැති තාක් වැස රජගහනුවර කරා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් සැරිසරණ සේක් රජගහනුවරට වැඩි සේක. එකල භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජිකුළු පවියෙහි වැඩ වසන සේක. ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ නික්ම වඩුත් ම කසුබුගොතු මහණහට කුකුස් වී ම ය. විපිළිසර වී ම ය. “යම් බඳු මට භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම, උත්සාහ කරවත් ම පහදවත් ම මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ කියති යි අක්‍ෂාන්තියෙක් වී ද, නො සතුටෙක් වී ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒ මට ඒකාන්තයෙන් ලාභයෙක් නොවේ. ඒ මට ඒකාන්තයෙන් අභාග්‍යයෙකි. ඒ මට ඒකාන්තයෙන් මනා භාග්‍යයෙක් නො වේ ය” යි.
“මම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම් නම් එළඹ භාග්‍යවතුන් වහන්සේ වෙත වරද වරද විසින් දෙසන්නෙම් නම් මනා මැ නු” යි.
ඉක්බිති කසුබුගොතු මහණ සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙණ රජගහනුවර කරා එළඹියේ ය. පිළිවෙළින් රජගහනුවර ගිජුකුළු පවියෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් කසුබු ගොතු මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: