3. 2. 4. 3.
33. මහණෙනි, සීසානා ගෙහෙවියා විසින් කැල ම මේ කළ යුතු දෑ තුණෙක. කවර තුණෙක යත්: මහණෙනි, මෙලොව සීසානා ගෙහෙවි කැල ම ක්ෂේත්රය මොනොවට සානා ලද්දක් පුවරුවෙන් සම කරණ ලද්දක් කෙරේ ද, ක්ෂේත්රය මොනොවට සාට තැනක් පුවරු ගා සම කරණ ලද්දක් කොට නිසි කල බිජු පිහිටුවයි. නිසි කල්හි බිජු පිහිටුවා නිසි සමාහි දිය වද්දනුයේත් නෙරනුයේත් වෙයි. මහණෙනි, සානා ගෙහෙවියා විසින් කැල ම මේ කළයුතු දෑ තුණයි.
මහණෙනි, එපරිදි ම මහණහු විසින් කැල ම මේ කළ යුතු දෑ තුණෙකි. කවර තුණෙක යත්: අධිශීලශික්ෂාසමාදානය, අධිචිත්තශික්ෂාසමාදානය, අධිප්රඥාශික්ෂාසමාදාන යි. මහණෙනි, මහණහු විසින් කැල ම මේ කළයුතු දෑ තුණය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතුය: අධිශීලශික්ෂා සමාදානයෙහි ලා අපගේ තීව්ර වූ ඡන්දය වෙයි. අධිචිත්තශික්ෂා සමාදානයෙහි ලා අපගේ තීව්ර වූ ඡන්දය වෙයි. අධිප්රඥාශික්ෂා සමාදානයෙහි ලා අපගේ තීව්ර වූ ඡන්දය වේයයි. මහණෙනි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතුය.
3. 2. 4. 4.
[වේසාලිනිදාන යි]
34. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ විශාලා මහනුවර මහවනයෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල එක්තරා වැදෑ රජකුලපුත් මහණෙක් භාග්යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ ... එකත්පස්ව හුන් ඒ වැදෑපුත් මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
වහන්ස, “සාධික යෙළ සියක් මේ සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. වහන්ස, මම මෙහි හික්මෙන්නට නො පොහොසත්මි” යි.
මහණ, අධිශීල, අධිචිත්ත, අධිප්රඥා යන් තුන් සිකයෙහි හික්මෙන්නට තෝ පොහොසත්හි?
වහන්ස, මම අධිශීල, අධිචිත්ත, අධිප්රඥා යන් තුන් සිකයෙහි හික්මෙන්නට පොහොසත්මි.
මහණ, එහෙයින් තෝ අධිශීල, අධිචිත්ත, අධිප්රඥා යන් තුන් සිකෙහි හික්මෙව. මහණ, යම් හෙයෙකින් තෝ අධිශීලයෙහි හික්මෙහි ද, අධිචිත්තයෙහි හික්මෙහි ද, අධිප්රඥායෙහිත් හික්මෙහි ද, මහණ, අධිශීලයෙහි හික්මෙන, අධිචිත්තයෙහිත් හික්මෙන, අධිප්රඥායෙහිත් හික්මෙන ඒ තට රාගය ප්රහත වෙයි. ද්වේෂය ප්රහත වෙයි. මෝහය ප්රහත වෙයි. ඒ තෝ, රාගප්රහාණයෙන් ද්වේෂප්රහාණයෙන් මෝහප්රහාණයෙන් - යම් අකුශලයෙක් වේ නම් එය නො කෙරෙහි, යම් පාපයෙක් වේ නම්, ඒ නො සෙවුනෙහිය.
එක්බිති ඒ මහණ, පසු කලෙක අධිශීලයෙහිත් හික්මින. අධිචිත්තයෙහිත් හික්මින. අධිප්රඥායෙහිත් හික්මින. අධිශීලයෙහිත් අධිචිත්තයෙහිත් අධිප්රඥායෙහිත් හික්මෙන ඔහුට රාගය ප්රහත විය. ද්වේෂය ප්රහත විය. මෝහය ප්රහත විය. රාගයාගේ ප්රහාණයෙන් ද්වේෂයාගේ ප්රහාණයෙන් මෝහයාගේ ප්රහාණයෙන් පසු යම් අකුශලයෙක් ඇත් ද ඒ නො කෙළේය. යම් පාපයෙක් ඇත් ද එය නො සෙව්නේ වීය.
3. 2. 4. 5.
[සැවැත්නිදාන යි]
35. එකල අන්යතර මහණෙක් භාග්යවතුන් වහන්සේ කරා එළඹියේය. ... එකත්පස්ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: වහන්ස, ‘ශෛක්ෂය, ශෛක්ෂය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ශෛක්ෂ වේ හො යි?