3. 2. 4. 4.
[වේසාලිනිදාන යි]
34. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහවනයෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල එක්තරා වැදෑ රජකුලපුත් මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ ... එකත්පස්ව හුන් ඒ වැදෑපුත් මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
වහන්ස, “සාධික යෙළ සියක් මේ සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. වහන්ස, මම මෙහි හික්මෙන්නට නො පොහොසත්මි” යි.
මහණ, අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකයෙහි හික්මෙන්නට තෝ පොහොසත්හි?
වහන්ස, මම අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකයෙහි හික්මෙන්නට පොහොසත්මි.
මහණ, එහෙයින් තෝ අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකෙහි හික්මෙව. මහණ, යම් හෙයෙකින් තෝ අධිශීලයෙහි හික්මෙහි ද, අධිචිත්තයෙහි හික්මෙහි ද, අධිප්‍රඥායෙහිත් හික්මෙහි ද, මහණ, අධිශීලයෙහි හික්මෙන, අධිචිත්තයෙහිත් හික්මෙන, අධිප්‍රඥායෙහිත් හික්මෙන ඒ තට රාගය ප්‍රහත වෙයි. ද්වේෂය ප්‍රහත වෙයි. මෝහය ප්‍රහත වෙයි. ඒ තෝ, රාගප්‍රහාණයෙන් ද්වේෂප්‍රහාණයෙන් මෝහප්‍රහාණයෙන් - යම් අකුශලයෙක් වේ නම් එය නො කෙරෙහි, යම් පාපයෙක් වේ නම්, ඒ නො සෙවුනෙහිය.
එක්බිති ඒ මහණ, පසු කලෙක අධිශීලයෙහිත් හික්මින. අධිචිත්තයෙහිත් හික්මින. අධිප්‍රඥායෙහිත් හික්මින. අධිශීලයෙහිත් අධිචිත්තයෙහිත් අධිප්‍රඥායෙහිත් හික්මෙන ඔහුට රාගය ප්‍රහත විය. ද්වේෂය ප්‍රහත විය. මෝහය ප්‍රහත විය. රාගයාගේ ප්‍රහාණයෙන් ද්වේෂයාගේ ප්‍රහාණයෙන් මෝහයාගේ ප්‍රහාණයෙන් පසු යම් අකුශලයෙක් ඇත් ද ඒ නො කෙළේය. යම් පාපයෙක් ඇත් ද එය නො සෙව්නේ වීය.
3. 2. 4. 5.
[සැවැත්නිදාන යි]
35. එකල අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. ... එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: වහන්ස, ‘ශෛක්‍ෂය, ශෛක්‍ෂය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ශෛක්‍ෂ වේ හො යි?
මහණ, හික්මේ නු යි එහෙයින් ශෛක්‍ෂය යි කියනු ලැබේ. කුමක් හික්මේ ද? අධිශීලයත් හික්මෙයි. අධිචිත්තයත් හික්මෙයි. අධිප්‍රඥාවත් හික්මෙයි. මහණ හික්මේ නු යි එහෙයින් ශෛක්‍ෂය යි කියනු ලැබේ.
37 අරීමග පිළිපදනා සුලු හික්මෙන ශෛක්‍ෂයාහට පළමුව ලා (ක්ලේශක්‍ෂය කරණ හෙයින්) ක්‍ෂය නම් ලද මාර්‍ගයෙහි ඥානය උපදනේ ය, ඒ චතුර්‍ත්‍ථමාර්‍ගඥානයෙන් අනතුරුව අර්‍හත්ත්‍වඵලය උපදනේ ය.
38 එක්බිති අර්‍හත්ත්‍වඵලවිමුක්තියෙන් විමුක්ත වූ ඒ තාදීහට ඒකාන්තයෙන් ප්‍රත්‍යවේක්‍ෂණඥානය පහළ වෙයි. “භවසංයෝජනක්‍ෂයයෙහි දී මාගේ විමුක්තිය අකෝප්‍ය විය” කියා යි.
3. 2. 4. 6.
36. මහණෙනි, තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙක්හි හික්මෙත් නම් එබඳු මේ සාධික යෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, යමෙක මේ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනහ.
මහණෙනි, මෙ සස්නෙහි මහණ, ශීලයෙහි පරිපූරකාරී වෙයි, සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි, හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ සිකපද අවදනේත් ඇවැතින් නැඟ සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ වෙත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදෙහි හික්මෙයි. හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ ක්‍ෂයහේතුයෙන් අපායට නොහෙන සැහැවි ඇතියේ මාර්‍ගනියාමයෙන් නියත වූයේ උපරිමාර්‍ගත්‍රය සඞ්ඛ්‍යාත සම්බෝධිය පරායණ කොට ඇතියේ සෝවන් වෙයි.
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැඟී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදි බ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි. හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් රාගද්වේෂ මෝහයන්ගේ තානවයෙන් සකෘදාගාමී වෙයි. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි.