3. 2. 3. 10.
30. එකල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මා විසින් භාග්යවතුන් වහන්සේ හමුයෙහි තෙල අසන ලදී: හමුයෙහි පිළිගන්නා ලදී: “ආනන්දය, සිඛී සම්මා සම්බුදුන්ගේ අභිභූ නම් ශ්රාවක බඹලොව සිටියේ සහස්රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේ” යි. වහන්ස, අර්හත් සම්යක්ම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ස්වරයෙන් විඥාපනය කරන්නට සමර්ත්ථ වෙති හෝ යි?
ආනන්දය, හේ ශ්රාවකයෙක; තථාගතයෝ වනාහි අපරිමේය වෙති.
දෙවනවටත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මා විසින් භාග්යවතුන් වහන්සේගේ හමුයෙහි තෙල … ආනන්දය, හේ ශ්රාවකයෙක; තථාගතයෝ වනාහි අපරිමේය වෙති.
තෙවනවටත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මා විසින් භාග්යවතුන් වහන්සේගේ හමුයෙහි තෙල අසන ලද: හමුයෙහි පිළිගන්නා ලද: “ආනන්දය, සිඛී සම්මා සම්බුදුන්ගේ අභිභූ නම් ශ්රාවක බඹලොව සිටියේ සහස්රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේයයි”. වහන්ස, අර්හත් සම්යක් සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ කෙතෙක් තැන් ස්වරයෙන් විඥාපනය කරන්නට සමර්ත්ථ වෙති හෝ යි?
ආනන්දය, තා විසින් දහසක් සක්වළ ඇති චූලනීය ලෝකධාතුව අසන ලද නු යි?
යම් හෙයෙකින් භාග්යවතුන් වහන්සේ වදාරණ සේක් ද, භාග්යවතුන් වහන්සේගේ බස් අසා භික්ෂූහු ධරත් ද, භාග්යවතුන් වහන්ස, තෙල සිංහනාදයට මේ කාලය යි. සුගතයන් වහන්ස, තෙල සිංහනාදයට මේ කාලය යි.
ආනන්දය, එසේ වී නම් අසව … ආනන්දය, සඳහිරුහු බබළමින් යම්තාක් තැන් ඇවිදුනාහු ද, දිශා බබුලුවත් ද, ඒ තාක් තැන් සහස්රීලෝකධාතුයි. ඒ සහස්රධාලෝකයෙහි සඳ දහසෙක් ඇත. හිරු දහසෙක් ඇත. සුනෙරු පවුරද දහසෙක් ඇත. දඹදිව් දහසෙක් ඇත. අපරගොයාන දහසෙක් ඇත. උතුරුකුරුදිව් දහසෙක් ඇත. පූර්වවිදේහ දහසෙක් ඇත. මහාසමුද්ර සහස්රයෝ සතර දෙනෙක් ඇත. මහාරාජසහස්රයෝ සතර දෙනෙක් ඇත. චාතුර්මහාරාජික සහස්රයෙක් ඇත. ත්රයත්රිංශත් දේවලෝක සහස්රයෙක් ඇත. යාම දේවලෝක සහස්රයෙක් ඇත. තුෂිත දේවලෝක සහස්රයෙක් ඇත. නිර්මාණරතී දේවලෝක සහස්රයෙක් ඇත. පරනිම්මිත වශවර්ති දේවලෝක සහස්රයෙක් ඇත. බ්රහ්මලෝක සහස්රයෙක් ඇත. ආනන්දය, මේ සහස්රීචූලනීය ලෝකධාතුය යි කියනු ලැබේ.
ආනන්දය, යම්තාක් තැන් සහස්රීචූලනීය ලෝකධාතුයෙක් වේ ද, ඒ තාක් සහස්රභාගයෙන් ගණනා ලද ලෝකයෙක් වේ ද, ආනන්දය, මේ ද්විසහස්රී මාධ්යමික ලෝකධාතුය යි කියනු ලැබේ.
ආනන්දය, යම්තාක් තැන් ද්විසහස්රී මාධ්යමික ලෝකධාතුයෙක් වේ ද, ඒ තාක් සහස්රභාගයෙන් ගණනා ලද ලෝකයෙක් වේ ද, ආනන්දය, මේ ත්රිසහස්රී මහාසහස්රී ලෝකධාතු ය යි කියනු ලැබේ.
ආනන්දය, තථාගතයන් වහන්සේ කැමැතිවන සේක් ත්රිසහස්රී මහාසහස්රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක. ඉන් පිටත් යම්තාක් කැමැති වන සේක් නම්, ඒ ද ස්වරයෙන් විඥාපනය කරණ සේක.
වහන්ස, භාග්යවතුන් වහන්සේ වනාහි කෙසේ නම් ත්රිසහස්රී මහාසහස්රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක ද? ඉන් පිටත් යම් තාක් කැමැති වන සේක් නම් ඒ ද ස්වරයෙන් විඥාපනය කරණ සේක ද?
ආනන්දය, මෙහි තථාගතයන් වහන්සේ ත්රිසහස්රී මහාසහස්රී ලෝකධාතුව ශරීරාවභාසයෙන් පතුරුවන සේක. යම් වරෙක ඒ සත්හු ඒ ආලෝකය හඳුනත් ද, එවරැ තථාගතයන් වහන්සේ බඹගොස් කරණ සේක. හඬ අස්වන සේක. ආනන්දය, මෙසේ තථාගතයන් වහන්සේ ත්රිසහස්රී මහාසහස්රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක. ඉන් පිටත් යම්තාක් කැමැති වන සේක් නම් ඒ තාක් ස්වරයෙන් විඥාපනය කරණ සේක.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට “යම් බඳු මාගේ ශාස්තෘන් වහන්සේ මෙබඳු මහත් ඍද්ධි ඇති සේක් ද, මෙබඳු මහත් ආනුභාව ඇති සේක් ද, ඒකාන්තයෙන් මට ලාභයෙක. ඒකාන්තයෙන් මට මනා ලැබීමෙකැ” යි තෙල ප්රසාදය සැළ කළහ.
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල කීහ. “කියඟ ආනන්දය, ඉදින් තාගේ ශාස්තෘන් වහන්සේ මෙබඳු මහත් ඍද්ධි ඇති සේක් ද, මෙබඳු මහත් ආනුභාව ඇති සේක් ද, මෙහිලා තෙපි කිමෙකැ” යි.
මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී තෙරණුවනට තෙල බස් වදාළහ: උදායී, නහමක් මෙසේ කියව. උදායිය, නහමක් මෙසේ කියව. උදායිය, ඉදින් අනඳ තෙර අවීතරාග ව කලුරිය කෙරේ නම්, ඒ චිත්තප්රසාදයෙන් සත් වටක් දෙවියන් කෙරෙහි දෙව්රජය කෙරෙයි. සත් වටක් මේ දඹදිව ම මහරජය කෙරෙයි. වැලිත් උදායිය, අනඳ ඉහාත්මයෙහි ම පිරිනිවන් පානේය.
ආනන්දවර්ගය තෙවෙනි යි.