3. 2. 1. 9.
9. එකල්හි ජාණුස්සෝණි බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළෙඹ භාග්යවතුන් වහන්සේ සමග ... එකත් පසෙක හුන් ජාණුස්සෝණි බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. භවත් ගෞතමයන් වහන්ස, යමකුගේ වනාහි යඥයෙක් හෝ මතකබතෙක් හෝ මුළු බතෙක් හෝ (සෙසු) දේයධර්මයෙක් හෝ වේ නම් ත්රෛවිද්යා බ්රාහ්මණයන් කෙරෙහි දන් දෙන්නේ ය. (කියායි)
බමුණ, කී හෙයින් බ්රාහ්මණයෝ ත්රෛවිද්යා බ්රාහ්මණයා පණවත් දැයි? භවත් ගෞතමයන් වහන්ස, මේ ලොව්හි බ්රාහ්මණ මවුපිය දෙපසින් සුජාතයෙක් වේ ද, සත්වන මහමුතුයුග තෙක් පිරිසිදු මවුගැබ් ඇත්තේ ජාතිවාදයෙන් බැහැර නොකරණ ලද්දේ වේ ද, උපක්කෝසා නොකරණ ලද්දේ වේ ද, වේද හදාරන්නේ වේදමන්ත්ර දරන්නේ නිඝණ්ටු කෙටුහ (ඡන්දොලඞ්කාර) ශාස්ත්ර සහිත වූ අක්ෂර ප්රභේද සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති ත්රිවේදයෙහි පරතෙර ගියේ වේ ද, පද හදාරන්නේ ව්යාකරණ දන්නේ වේ ද, ලෝකායත (විතණ්ඩ) ශාස්ත්රයෙහිදු මහා පුරුෂලක්ෂණයෙහි (අනූනව) පිරිපුන් දැනුම් ඇත්තේ වේ ද, භවත් ගෞතමයන් වහන්ස, මෙසේ වනාහි බමුණෝ ත්රෛවිද්යා බ්රාහ්මණයා පණවත්.
බ්රාහ්මණය, බමුණෝ ත්රෛවිද්යා බ්රාහ්මණයා අන් පරිද්දෙකින් පණවති. ආර්ය්යවිනයෙහි වනාහි ත්රෛවිද්යයා අන් පරිද්දෙකින් වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ආර්ය්යවිනයෙහි ත්රෛවිද්යයා කෙසේ නම් වේ ද? යම් පරිද්දෙකින් ආර්ය්යවිනයෙහි ත්රෛවිද්යා වේ නම්, එසේ භවත් ගෞතමයන් වහන්සේ මට දහම් දෙසනසේක් නම් මැනැවැ යි. එසේ වී නම් බමුණ, අසව, ... භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
බ්රාහ්මණය, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම ... සිවුවන දැහැන උපයා වෙසෙයි.
හේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි පර්ය්යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි උපක්ලේශයන් පහව ගිය කල්හි මෘදු වූ කල්හි කර්මයෝග්ය වූ කල්හි ස්ථිත කල්හි නොසැලෙන බවට පත් වූ කල්හි පෙර විසූ කඳපරපුර දන්නා නුවණ පිණිස සිත වෙසෙසින් නමයි. හේ නන්වැදෑරුම් වූ පෙර විසූ කඳපරපුර සිහි කෙරෙයි. කෙසේය යත්: එක් ජාතියකුදු, ජාති දෙකකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන්වැදෑරුම් වූ පෙර විසූ කඳපරපුර සිහි කෙරෙයි. ඔහු විසින් මේ ප්රථම විද්යාව ලබන ලදු. අවිද්යාව නසන ලදු. විද්යාව උපන. මොහඳුර නසන ලදි. ආලෝකය උපන. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇතිව වසන්නක්හට වන්නාක් සෙයිනි.
හේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි පර්ය්යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්මහිත වූ කල්හි ස්ථිත කල්හි නො සැලෙන බවට පත් වූ කල්හි සත්ත්වයන්ගේ ච්යුති උප්පත්ති ඥානය පිණිස සිත වෙසෙසින් නමයි. හේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ... කම් වූ පරිදි යන සත්ත්වයන් දන්නේය. ඔහු විසින් මේ දෙවෙනි විද්යාව ලබන ලදු. අවිද්යාව නසන ලදු. විද්යාව උපන. මොහඳුර නැසුනේය. ආලොකය උපන්නේ ය. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නහුට වන්නාක් සෙයිනි.
හේ මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්ය්යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්මකුශල වූ කල්හි සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි ආස්රවක්ෂයඥානය පිණිස වෙසෙසින් සිත එළවයි. හේ ‘මේ දුකැ’යි තත් වූ පරිදි දන්නේය ... ‘මේ දුඃඛනිරෝධගාමි ප්රතිපත්’ යි තත් වූ පරිදි දන්නේය. ‘මේ ආස්රවයෝ’ යි තත් වූ පරිදි දන්නේය. ... ‘මේ ආස්රවනිරෝධගාමිනී ප්රතිපත්’ යි තත් වූ පරිදි දන්නේය. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්රවයෙනුදු මිදෙයි. භවාස්රවයෙනුදු සිත මිදෙයි. අවිද්යාස්රවයෙනුදු සිත මිදෙයි. (සිත) මිදුනු කල්හි මිදුනේය යන ඥානය වේ. ජාතිය ක්ෂීණ විය. බඹසර වැස නිමවන ලදී. කරණී කරණ ලදි, ‘මේ කඳසතනින් අනෙක් කඳසතන් නැතැ’ යි දන්නේය. මේ තෙවන විද්යාව ඔහු විසින් ලබන ලදු. විද්යාව උපන. මොහඳුර නැසුනේය. ආලෝකය උපන්නේය. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවනට මෙහෙයූ සිත් ඇතිව වසන්නහුට වන්නාක් සෙයිනි.
20. යමෙක් ශීලව්රතයෙන් සමන්විත වූයේ ද, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තේ වේ ද, සමාධිගත සිත් ඇත්තේ වේ ද, යමකුගේ සිත විසිය වැටේ ද, එකඟ වූයේ ද, මොනොවට අරමුණෙහි පිහිටියේ වේ ද -
21. යමෙක් පූර්වේනිවාසය දන්නේ වේ ද, ස්වර්ගයත් අපායත් දක්නේ වේ ද, වැලිත් ජාතික්ෂයට පැමිණියේ විශිෂ්ටඥානයෙන් දැන වැස නිමවූයේ ක්ෂීණාස්රව මුනි වේ ද -
22. තෙල ත්රිවිද්යායෙන් එ ක්ෂීණාස්රව බ්රාහ්මණ ත්රෛවිද්යා වෙයි. මම ඔහු ත්රෛවිද්යයා යි කියමි. අනුන් කියු බස් මතු වන අනෙකකු (ත්රෛවිද්යායා යි) නො කියමි යි.
බමුණ, මෙසේ වනාහි ආර්ය්යවිනයෙහි ත්රෛවිද්යයා වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, බමුණන්ගේ ත්රෛවිද්යයා අන් පරිද්දෙකින් වේ. ආර්ය්යවිනයෙහි වනාහි ත්රෛවිද්යයා අන්පරිද්දෙකින් වේ. භවත් ගෞතමයන් වහන්ස, මේ ආර්ය්යවිනයෙහි ත්රෛවිද්යයාහට බ්රාහ්මණයන්ගේ ත්රෛවිද්යයා සොළොස්වන කලාවටත් නො අගනේ ය.
භවත් ගෞතමයන් වහන්ස, ඉකල්ය. භවත් ගෞතමයන් වහන්ස, ඉකල්ය ... අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උවසුවකු කොට මා දරණ සේක්වා යි.
3. 2. 1. 10.
10. එකල්හි සඞ්ගාරව බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එකත්පසෙක හුන් සඞ්ගාරව බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, බ්රාහ්මණ වූ අපි වනාහි යාග කරන්නමෝ ද යාග කරවන්නමෝ ද වම්හ. භවත් ගෞතමයන් වහන්ස, ඒ අප අතුරෙන් යමෙක් යාග කෙරේ ද, යමෙකුත් යාග කරවා ද, එහැම යම් මේ යාගය කරුණු කොට ගෙණ නොයෙක් සිරුරු වහලින් උපන් පුණ්යප්රතිපත්තියකට පිළිපන්නාහු වෙති. භවත් ගෞතමයන් වහන්ස, යම් මේ පුරුෂයෙක් යම් ම කුලගෙයෙකින් ගිහිගෙන් නික්ම පැවිද්දට ගියේ වේ ද හේ (තමාගේ ඉන්ද්රියදමන වශයෙන්) ඒකාත්මයක් ම දමනය කරන්නේ ය. ඒකාත්මයක් ම ශමනය කරන්නේ ය. ඒකාත්මයක් ම පිරිනිවන්නේ ය. මෙසේ මෙ තෙමේ මේ පැවිද්ද හේතු කොට ගෙණ ඒකශාරීරික වූ පුණ්යප්රතිපත්තියට පිළිපන්නේ වෙයි.