3. 2. 1. 10.
10. එකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එකත්පසෙක හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණ වූ අපි වනාහි යාග කරන්නමෝ ද යාග කරවන්නමෝ ද වම්හ. භවත් ගෞතමයන් වහන්ස, ඒ අප අතුරෙන් යමෙක් යාග කෙරේ ද, යමෙකුත් යාග කරවා ද, එහැම යම් මේ යාගය කරුණු කොට ගෙණ නොයෙක් සිරුරු වහලින් උපන් පුණ්‍යප්‍රතිපත්තියකට පිළිපන්නාහු වෙති. භවත් ගෞතමයන් වහන්ස, යම් මේ පුරුෂයෙක් යම් ම කුලගෙයෙකින් ගිහිගෙන් නික්ම පැවිද්දට ගියේ වේ ද හේ (තමාගේ ඉන්‍ද්‍රියදමන වශයෙන්) ඒකාත්මයක් ම දමනය කරන්නේ ය. ඒකාත්මයක් ම ශමනය කරන්නේ ය. ඒකාත්මයක් ම පිරිනිවන්නේ ය. මෙසේ මෙ තෙමේ මේ පැවිද්ද හේතු කොට ගෙණ ඒකශාරීරික වූ පුණ්‍යප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි.
බ්‍රාහ්මණය, එසේ වී නම් මෙහි ලා තා ම පුලුවුස්නෙමි. යම්සේ තට රුස්නේ නම් එසේ එය ප්‍රකාශ කරව. බමුණ, මෙලොව්හි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්‍මයෙන් යුක්ත වූ සුගත වූ තුන්ලෝ දන්නා වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලොව උපදනා සේක. උන්වහන්සේ මෙසේ වදාරත්: “එව, මේ මගය, මේ පිළිවෙතය, යම්සේ මම අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍යයට ඇතුළත් වූ නිර්‍වාණය තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට පවසම් ද, එව, තෙපිදු එසේ පිළිපදුව, යථාප්‍රතිපන්න තෙපි අනුත්තර වූ අර්‍හන්මාර්‍ග සඞ්ඛ්‍යාත බ්‍රහ්මචර්‍ය්‍යයට ඇතුළත් නිර්‍වාණය තුමූ ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට උපයාගෙන වසන්නහුය.” මෙසේ මේ ශාස්තෘ තෙමේ ද දහම් දෙසයි. අන්හු ද ඒ පිණිස පිළිපදිත්. ඔහු ද අනේකශතයෝත් අනේක සහස්‍රයෝත් අනේකශතසහස්‍රයෝත් වෙත්.
බමුණ, ඒ කිමැයි හඟනෙහි ද? මෙසේ ඇති කල්හි මේ පැවිද්ද හේතු කොට ගෙණ තෙල පුණ්‍යප්‍රතිපත්ති තොමෝ ඒකශාරීරික හෝ වේ ද, අනේක ශාරීරික හෝ වේ ද? භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි මේ පැවිද්ද හේතු කොට ගෙණ ඇති වු තෙල පුණ්‍යප්‍රතිපත්තිය ද අනේකශාරීරික ම වේ.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ සඞ්ගාරව බ්‍රාහ්මණයාට තෙල කීය: බ්‍රාහ්මණය, මේ ප්‍රතිපද් දෙක අතුරෙන් කවර ප්‍රතිපත්තියෙක් (බොහෝ මෙහෙ කරන්නවුන් විසින් හෝ උපකරණයෙන් ප්‍රයෝජන නැති බැවින්) අල්පාර්‍ත්‍ථතර යි ද, (අධික පීඩා නැතිවන බැවින්) අල්පසමාරම්භතර යී ද, මහත්ඵලතර යී ද, මහානෘශංසතර යී ද තට රුස්නේ ද? මෙසේ කී කල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කීය: යම්බඳු වූ භවත් ගෞතමයන් වහන්සේ හා භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හා ඇත් ද, මොහු (දෙදෙන) මා විසින් පිදිය යුතු වෙති. මොහු මා විසින් පැසසිය යුතු වෙති.
දෙවනවටත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සඞ්ගාරව බ්‍රහ්මණයාහට තෙල කීහ: බ්‍රාහ්මණය, තා විසින් කවරහු පිදිය යුත්තාහු ද තා විසින් කවරහු පැසසිය යුත්තාහුදැ යි මෙසේ මම තා නො විචාරමි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි මම තා පුළුවුස්මි. බ්‍රාහ්මණය, මේ ප්‍රතිපත් දෙක අතුරෙන් කවර ප්‍රතිපත්තියෙක් අල්පාර්‍ත්‍ථතර යි ද, අල්පසමාරම්භතර යී ද, මහත්ඵලතර යී ද මහානෘශංසතර යී දැයි තට රුස්නේ වේ දැයි. දෙවනවටත් සඞ්ගාරව බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කීය: යම්බඳු වූ භවත් ගෞතමයන් වහන්සේ හා භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හා ඇත් ද, මොහු මා විසින් පිදිය යුතු වෙති. මොහු මා විසින් පැසසිය යුතු වෙති.
තෙවනවටත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සඞ්ගාරව බ්‍රාහ්මණහට තෙල කීහ: බ්‍රාහ්මණය, කවරහු තා විසින් පිදිය යුතු වෙත් ද? කවරහු තා විසින් පැසසිය යුතු වෙද්දැ යි මෙසේ මම තා නො විචාරමි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි මම තා විචාරමි: බ්‍රාහ්මණය, මේ ප්‍රතිපත් දෙක අතුරෙන් කවර නම් ප්‍රතිපත්තියෙක් අල්පාර්‍ත්‍ථතර යි ද, අල්පසමාරම්භතර යී, මහත්ඵලතර යී ද, මහානෘශංසතර යී දැයි තට රුස්නේ දැයි?