3. 2. 1. 8.
8. එකල්හි තිකණ්ණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග ... එකත් පසෙක හුන් තිකණ්ණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ත්‍රිවිද්‍යා ඇති බ්‍රාහ්මණයන්ගේ ම ගුණ වණයි. “මෙසේත් බමුණෝ ත්‍රිවිද්‍යා ඇත්තාහ. මෙසේත් බමුණෝ ත්‍රිවිද්‍යා ඇත්තාහ” කියායි.
“බමුණ, කෙසේ හෙයින් බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයකු ත්‍රිවිද්‍යා ඇත්තකු කොට පණවත්දැ” යි. “භවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි බමුණු මවු පසිනුදු පියපසිනුදු දෙපසින් මොනවට උපන්නේ වේ. පිරිසිදු මවුකුස ඇත්තේ සත්වන මහමුතු යුග තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරණ ලද්දේ නින්‍දා නොකරණ ලද්දේ වේ ද, වේද හදාරන්නේ වේ ද, මන්ත්‍ර දරන්නේ වේ ද, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත වූ ශික්‍ෂානිරුක්ති සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති, ත්‍රිවේදයේ පරතෙරට ගියේ වේ ද, පදපාඨ හදාරන්නේ ව්‍යාකරණ දන්නේත් වේ ද, විතණ්ඩවාද ශාස්ත්‍රයෙහි දු මහාපුරුෂලක්‍ෂණයෙහි දු සම්පූර්‍ණකාරී වේ ද, භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ මෙසේ බ්‍රාහ්මණයකු ත්‍රිවිද්‍යා ඇත්තකු කොට පණවත්ය” යි.
බ්‍රාහ්මණය, බමුණෝ අන්පරිද්දෙකින් ත්‍රිවිද්‍යා ඇති බමුණා පණවත්. ආර්‍ය්‍යවිනයෙහි අන්පරිද්දෙකින් ම ත්‍රිවිද්‍යා ඇත්තේ වේ. භවත් ගෞතමයන් වහන්ස, කිපරිදි ආර්‍ය්‍යවිනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තේ වේ ද? භවත් ගෞතමයන් වහන්සේ යම් පරිද්දෙකින් ආර්‍ය්‍යවිනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේ ද, එපරිදි මට ධර්‍මදේශනා කරණසේක් නම් මැනවි. බමුණ, එසේ නම් අසව, මනා කොට මෙනෙහි කරව, කියමි යි. පින්වතුන් වහන්ස, එසේය යි, තිකණ්ණ බමුණු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වී ය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
බමුණ, මේ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම, අකුශලධර්‍මයන් ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති චිත්තයාගේ එකඟබව වූ විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ, ප්‍රීතිහුගේ ද විරාගයෙන් උපේක්‍ෂා ද ඇත්තේ සිහිද ඇත්තේ සම්‍යක් ප්‍රඥා ද ඇත්තේ වෙසේ. කයින් සුඛයත් විඳුනේය. ආර්‍ය්‍යයෝ ‘උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇත්තේය’යි යම් ඒ පුඟුලකු කියත් නම්, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගමයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාස්මෘති පරිශුද්ධි ඇති සතරවන ධ්‍යානයට පැමිණ වෙසේ.
හේ මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පවිත්‍ර වූ කල්හි කෙලෙස් අඞ්ගණ රහිත වූ කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටි කල්හි නො සැලෙන බවට පත් වූ කල්හි පෙර විසූ කඳපිළිවෙළ දන්නා නුවණ පිණිස සිත එළවයි. හේ නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. කෙසේය යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුණකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතළිසකුදු ජාති පණසකුදු ජාති සියකුදු ජාති දහසකුදු ජාති සියක්දහසකුදු නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු සිහි කෙරෙයි. අසෝ තැන මෙනම් ඇත්තෙයිම් වීමි. මෙසේ ගොත් ඇත්තෙයිම් වීමි. මෙසේ පැහැ සටහන් ඇත්තෙයිම් වීමි. මෙ බඳු අහර ඇත්තෙයිම් වීමි. මෙ බඳු සුවදුක් විඳිනසුල්ලෙයිම් වීමි. මෙ බඳු ආයු කෙළවර ඇත්තෙයිම් වීමි. ඒ මම එයින් සැව අසෝ තැන උපන්මි. එහිදු මෙ බඳු නම් ඇත්තෙයිම් වීමි. මෙ බඳු ගොත් ඇත්තෙයිම් මෙ බඳු පැහැසටහන් ඇත්තෙයිම් වීමි. මෙ බඳු ආහාර ඇත්තෙයිම් මෙ බඳු සුවදුක් විඳුනෙයිම් මෙ බඳු ආයු පර්‍ය්‍යන්ත ඇත්තෙයිම් වීමි. ඒ මම එයින් සැව මෙහි උපන්මි’යී මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන් වැදෑරුම් පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරේ. මෙසේ ඔහු විසින් ප්‍රථම විද්‍යාව ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන මෝහාන්‍ධකාරය නසන ලද. ආලෝකය උපන. අප්‍රමත්ත වූ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ නිවන් කෙරෙහි මෙහෙයූ සිතැතිව වසන්නක්හට වන්නාක් සෙයිනි.
හෙතෙම මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි උපක්ලේශ දුරු වු කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටි කල්හි නො සැලීමට පත් වූ කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋපපත්තිඥානය පිණිස සිත එළවයි. හෙ තෙමේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන්නා වූත් උපදනා වූත් හීන වූත් ප්‍රණීත වූත් සුවර්‍ණවූත් දුවර්‍ණ වූත් මනා ගති ඇති දුගති ඇති සත්ත්‍වයන් දන්නේය, එකැතියෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍විත වූවාහු වාග්දුශ්චරිතයෙන් සමන්‍විත වූවාහු මනෝදුශ්චරිතයෙන් සමන්‍විත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහු මිසදිටු ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටි කර්‍ම සමාදන් වූවාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සුවෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයෙහි උපන්නාහු වෙති. මේ භවත් සත්ත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් සමන්‍විත වූවාහු වාක්සුචරිතයෙන් සමන්‍විත වූවාහු මනඃසුචරිතයෙන් සමන්‍විත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටි කර්‍ම සමාදන් වූවාහු වෙති. ඒ සත්ත්‍වයන් කාබුන් මරණින් මතු සොඳුරු ගති ඇති ස්වර්‍ගලෝකයට පිළිසිඳ විසින් පැමිණෙතී දන්නේ ය. මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන්නා වූත් උපදනා වූත් හීන වූත් ප්‍රණීත වූත් සුවර්‍ණ වූත් දුවර්‍ණ වූත් මනා ගති ඇති, දුගති ඇති, කම් වූ පරිදි පරලොව යන සත්ත්‍වයන් දන්නේය. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන. මොහඳුර නසනලද. ආලොකය උපන. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇති ව වසන්නක්හට වන්නාක් සෙයිනි.