3. 1. 4. 9.
39. මහණෙනි, මම නිදුක්මි. අතිශයින් නිදුක්මි. සතතයෙන් නිදුක්මි. මහණෙනි, මාගේ පියනිවෙස්නෙහි පොකුණු කරවන ලද. එකෙක වනාහි නිලුපුල් පිපෙයි. එකෙක හෙළපියුම් පිපෙයි. එකෙක රත්පියුම් පිපෙයි. ඒ වනාහි හුදෙක් මා පිණිස ම ය. මහණෙනි, මම වනාහි නො සියුම් සඳුනක් නම් නො දරමි. මහණෙනි, මා හිස්වෙළුම ද සියුම් ම වෙයි. මාගේ පොරෝනා කස්ස ද සියුම් ම ය. හඳනා ද සියුම් වෙයි. උතුරුසළුව ද සියුම් වේ. මහණෙනි, රෑ දෙවෙහි ශීතය හෝ උෂ්ණය හෝ රජස හෝ තෘණ හෝ පිනි හෝ මුහු නහමක් පෙළාවා යි මට සේසතෙක් දරණු ලැබේ.
මහණෙනි, ඒ මට තුන් පහයෙක් වීය. එකෙක් හේමන්තයට හිත ය, එකෙක් ගිම්හානයට හිත ය, එකෙක් වර්ෂාඍතුවට හිත ය. මහණෙනි, ඒ මම වැසිකලට නිසි පහයෙහි පිරිමින් නැති (ස්ත්රීන් කරණ) පසඟතුරුයෙන් පිනවනු ලබන්නෙම් යට පහයට නො බස්මි. මහණෙනි, යම්සේ අන්යයන්ගේ නිවෙස්හි දස්කම්කරු අතැවැසි පුරුෂයනට කාඩි දෙවන කොට ඇති නිවුඩුසාලේ බත දෙනු ලැබේ ද, මහණෙනි, එලෙසින් මාගේ පිය නිවෙස්නෙහි දස්කම්කරු යටත් පුරුෂයනට මස් සහිත ඇල්සහලේ බත් දෙනු ලැබේ.
මහණෙනි, මෙබඳු ඉදුහයෙන් ද මෙබඳු සියුමැලියෙන් ද යුත් ඒ මට මේ සිත විය: අශ්රැතවත් පෘථග්ජන ජරාව ස්වභාව කොට ඇත්තේ ම ජරාව නො ඉක්ම වූයේ ම ජරාවට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි. ලජ්ජිතවෙයි, පිළිකුල් උපදවයි. වැලි මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම්. ජරාව නො ඉක්ම වූයෙම් වෙමි. මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම් ජරාව නො ඉක්ම වූයෙම් ම ජරාවට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, එය මට නිසි නො වන්නේ ම ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ යොවුන් විය නිමිති කොට යම් යෞවනමදයෙක් වී ද, එය සර්වප්රකාරයෙන් ප්රහත විය.
අශ්රැතවත් පෘථග්ජනයා තෙමේ ව්යාධිය ස්වභාව කොට ඇත්තේ ම ව්යාධිය නො ඉක්ම වූයේ ම ව්යාධියට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි, ලජ්ජිත වෙයි, පිළිකුල් උපදවයි. මම වැලිත් ව්යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්යාධිය නො ඉක්ම වූයෙම් වෙමි. මම ද ව්යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්යාධිය නො ඉක්ම වූයෙම් ම ව්යාධියට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, ඒ මට තරම් නො වන්නේ ම ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ ආරෝග්යය නිමිති කොට යම් ආරෝග්යමදයෙක් වී නම්, එය සර්වප්රකාරයෙන් ප්රහත විය.
අශ්රැතවත් පෘථග්ජන තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ ම මරණය නො ඉක්ම වූයේ ම මරණයට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි, ලජ්ජිත වෙයි, පිළිකුල් උපදවයි. ‘මම වැලිත් මරණය ස්වභාව කොට ඇත්තෙම් මරණය නො ඉක්ම වූයෙම් වෙමි. මම ද මරණය ස්වභාව කොට ඇත්තෙම් මරණය නො ඉක්ම වූයෙම් ම මළා වූ අනෙකක්හු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, ඒ මට තරම් නො වන්නේ ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ ජීවිතය නිමිති කොට යම් ජීවිතමදයෙක් වී නම්, එය සර්වප්රකාරයෙන් ප්රහත විය.
මහණෙනි, මේ මද තුණෙකි. කවර තුණෙක යත්: යෞවනමදය, ආරෝග්යමදය, ජීවිතමදයි. මහණෙනි, අශ්රැතවත් පෘථග්ජන යෞවන මදයෙන් මත්වූයේ කයින් දුසිරිත් කරයි, වචසින් දුසිරිත් කරයි, සිතින් දුසිරිත් කරයි. හේ කයින් දුසිරිත් කොට වචසින් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණෙයි. මහණෙනි, ආරෝග්යමදයෙන් මත් වූත් අශ්රැතවත් පෘථග්ජන ... ජීවිතමදයෙන් මත් වූත් අශ්රැතවත් පෘථග්ජන කයෙන් දුසිරිත් කරයි, වචසින් දුසිරිත් කරයි, මනසින් දුසිරිත් කරයි. කයින් දුසිරිත් කොට වචසින් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ (පව්කළහු) විවසව පතිත වන නිරයට පැමිණෙයි.
මහණෙනි, යොවුන්මදින් මත් වූ ද මහණ ශික්ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි. මහණෙනි, ආරෝග්යමදයෙන් මත් වූ ද මහණ ශික්ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි. ජීවිතමදයෙන් මත් වූ ද මහණ ශික්ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි.
36. ව්යාධිය ස්වභාව කොට ඇත්තා වූ ද ජරාව ස්වභාව කොට ඇත්තා වූ ද යලි මරණය ස්වභාව කොට ඇත්තා වූ ද පෘථග්ජනයෝ (ව්යාධිආදි) ස්වභාවයන් නො ඉක් මැ සිටියාහු ම (මෙරමා) පිළිකුල් කරත්.
37. මම ද මෙබඳු ස්වභාව ඇති ප්රාණීන් කෙරෙහි පිළිකුල් කරන්නෙම් නම්, මෙබඳු ජුගුප්සාවිහරණ ඇති මට එය තරම් නො වන්නේ ය.
38. මම මෙසේ වසන්නෙම් නිර්වාණධර්මය දැන, ආරෝග්යයෙහි ද යෞවනයෙහි ද, ජීවිතයෙහි ද යම් මද කෙනෙක් වෙත් නම්,
39. නිර්වාණයෙහි ක්ෂේමභාවය දැක සියලු මදයන් මැඩලූ යෙම් වෙමි. නිවන දක්නා ඒ මට උත්සාහය විය.
40. දැන් මම කාමයන් සෙවුනට භව්ය නො වෙමි. නො නවත්නෙම් මඟබඹසර පිහිට කොට ඇත්තෙම් වෙමි.