[4. දේවදූත වර්ගය]
3. 1. 4. 1.
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, යම් පුත්ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ බ්රහ්ම සහිතයහ. මහණෙනි, යම් පුත්ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්වාචාර්ය සහිතයහ. මහණෙනි, යම් පුත්ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ ආහුනෙය්ය සහිතයහ. මහණෙනි, ‘බ්රහ්ම’ යනු මාපියනට තෙල නමෙකි. මහණෙනි, ‘පුබ්බාචරිය’ යනු මාපියනට තෙල නමෙකි. මහණෙනි, ‘ආහුනෙය්ය’ යනු මාපියනට තෙල නමෙකි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මාපියෝ පුත්රයන් පල්නාහු පුස්නාහු මේ ලෝකය දක්වන්නාහු වෙත් ද, එහෙයින් දරුවනට බොහෝ උපකාර ඇතියහ.
16. මාපියෝ පුත්රයනට බ්රහ්මයහ යි ද පූර්වාචාර්ය්යයහ යි ද ආහුනෙය්යහ යි ද දරුවනට අනුකම්පා කරන්නාහු යයි ද කියනු ලැබෙත්.
17. එහෙයින් නුවණැත්තේ ඔවුන් නමදනේ ය. ආහාරයෙනුදු යලි පානයෙනුදු වස්ත්රයෙනුදු යහනිනුදු ඇඟ ඉළීමෙනුදු නෑවීමෙනුදු පා දෙවීමෙනුදු ඔවුන් සගන්නේ ය.
18. මවුපියන් කෙරෙහි ඒ පිරිසැරියෙන් පණ්ඩිතයෝ මෙලොව්හි ද ඔහු පසසත්. හේ පරලොව ගොස් ස්වර්ගයෙහි ද (විපාකමෝදනායෙන්) තුටු වේ යයි.
3. 1. 4. 2.
32. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, යම් පරිද්දෙකින් සවිඥානක වූ මේ ශරීරයෙහිත් අහඞ්කාරදෘෂටි හා මමඞ්කාරතෘෂණා හා මානානුසය හා යන මොහු නො වෙත් නම්, බාහිර වූ ද සියලු නිමිත්තයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසය යන මොහු නො වෙත් නම්, යම් ඵලසමාධියකටත් ඵලප්රඥාවකටත් සමවැද වසන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයෝ නො වෙත් නම්, එබඳු ඵලසමාධියකට ද ඵලප්රඥාවකට ද පැමිණ වසන්නේ නම්, ඒ භික්ෂූහට එබඳු සමාධිප්රතිලාභයෙක් ඇත් ද?
ආනන්දයෙනි, යම් පරිද්දෙකින් මේ සවිඥානක ශරීරයෙහි ද, අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, බාහිර වූ ද සියලු රූපාදිනිමිත්තයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, යම් බඳු වූ ඵල සමාධියකට ඵලප්රඥාවකට පැමිණ වසන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, එබඳු වූ ද ඵලසමාධියකට ඵලප්රඥාවකට පැමිණ වෙසෙන්නේ නම්, ඒ භික්ෂූහට එවැනි සමාධිප්රතිලාභයෙක් ඇත.
වහන්ස, යම් හෙයෙකින් මේ සවිඥානක ශරීරයෙහි ද අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, බාහිර වූ ද සියලු නිමිත්තයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, යම් බඳු වූ ඵලසමාධියකට ඵලප්රඥාවකට පැමිණ වසන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, එබඳු වූ ඵලසමාධියට ඵලප්රඥාවට පැමිණ වසන්නේ නම්, ඒ භික්ෂූහට එබඳු සමාධිප්රතිලාභයෙක් කෙසේ නම් වන්නේ ද?
ආනන්දයෙනි, මේ ශාසනයෙහි භික්ෂුහට මෙබඳු සිතෙක් වෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සංහිඳීමෙක් සියලු උපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණාක්ෂයයෙක් නො ඇලීමෙක් නිරෝධයෙක් නිවණෙක් වේ ද, තෙල ශාන්තය. තෙල ප්රණීතයි. ආනන්දයෙනි, යම්සේ මේ සවිඥානක ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, යම් ඵලසමාධියකට ද ඵලප්රඥාවකට ද පැමිණ වාසය කරන්නාහට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, ඒ ඵලසමාධියට ද ඵලප්රඥාවට ද පැමිණ වාසය කරන්නේ ද, මෙසේ ඒ භික්ෂුහට එබඳු වූ සමාධිප්රතිලාභයෙක් වන්නේ ය. ආනන්දයෙනි, මේ කරුණ සඳහා පාරායණයෙහි පූර්ණක ප්රශ්නයෙහිදී මා විසින් තෙල දෙසන ලදී:
19. ලෝකයෙහි ස්වාත්මභාව පරාත්මභාව සඞ්ඛ්යාත පරාවරයන් නුවණින් දැන, ලොව්හි කිසි අරමුණෙක්හිදු යමකුගේ කම්පායෙක් නැත් ද, විරුද්ධ වූ ක්ලේශයන් සංහිඳ වූ හෙයින් ශාන්ත වූ කායදුශ්චරිතාදි වූ දුම් නැති රාගාදි ඊඝ හා ආශා නැති හෙතෙම ජාති ජරා ව්යාධි මරණ සමූහය තරණය කෙළේය යි කියමි.
3. 1. 4. 3.
33. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක: ‘ශාරීපුත්රයෙනි, මම සැකෙවිනුදු දහම් දෙසමි. ශාරීපුත්රයෙනි, මම විතර විසිනුදු දහම් දෙසමි. සංක්ෂේපවිස්තර දෙකිනුදු දහම් දෙසමි. එතෙකුදුවත් ප්රතිවේධ කරණුවෝ දුර්ලභයහ යි. භාග්යවතුන්වහන්සේ යම් හෙයෙකින් සැකෙවිනුදු දහම් දෙසන සේක් ද, විතර විසිනුදු දහම් දෙසන සේක් ද, සංක්ෂේපවිස්තර දෙකිනුත් දහම් දෙසන සේක් ද, භාග්යවතුන් වහන්ස, මේ එයට කලි. සුගතයන් වහන්ස, මේ එයට කලි. ධර්මය ප්රතිවේධ කරණුවෝ වෙති යි.
ශාරීපුත්රයෙනි, එසේ හෙයින් මේ සවිඥානක ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවන්නාහු ද, බාහ්ය වූ හැම නිමිත්හිදු අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවන්නාහු ද, යම් ඵලසමාධියකටත් ඵලප්රඥාවකටත් පැමිණ වාසය කරන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම් ඒ ඵලසමාධියට ද ඵලප්රඥාවට ද පැමිණ වසන්නම්හ යි මෙසේ හික්මිය යුතුයි. ශාරීපුත්රයෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
ශාරීපුත්රයෙනි, යම් කලෙක පටන්ගෙණ භික්ෂුහට සවිඥානක වූ මේ ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවෙත් නම්, බාහිර වූ සියලු නිමිත්තයෙහිදු අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවෙත් නම්, යම් ඵලසමාධියකට ද යම් ඵලප්රඥාවකට ද පැමිණ වාසය කරන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, ඒ ඵලසමාධියට ද ඵලප්රඥාවට ද පැමිණ වෙසේ නම්, ශාරීපුත්රයෙනි, මේ භික්ෂු තෘෂ්ණාව සිඳලී ය යි ද, සංයෝජන උපුටා හළේ ය යි ද, මනා පිළිවෙතින් මානය සංහිඳවීමෙන් සසරදුක් අවසන් කෙළේය යි ද, කියනු ලැබේ. ශාරීපුත්රයෙනි, මෙය සඳහා ම පාරායණ වර්ගයෙහි උදය ප්රශ්නයෙහි මා විසින් තෙල දෙසන ලදී:
20-21. කාමසංඥාවන්ගේ ද දොම්නසුන්ගේ දැයි මේ ධර්මයන් දෙදෙනාගේ ප්රහාණය ද ථීනමිද්ධයාගේ දුරලීම ද කුක්කුච්චයන්ගේ වැළැහීම ද චතුර්ත්ථධ්යානයට අයත් ඵලයෙහි උපන් උපේක්ෂායෙන් හා ස්මෘතියෙන් පිරිසිදු වූ සම්යක්සංකල්පය පෙරට කොට සිටි අඤ්ඤින්ද්රියයාගේ කෙළවර උපදනා අර්හත්ඵලය අවිද්යාව බිඳීමය යි කියමි.