3. 1. 4. 10.
40. මහණෙනි, මේ ආධිපත්‍යයයෝ තුන් දෙනෙකි. කවර තුන්දෙනෙක යත්: ආත්මාධිපත්‍යය, ලෝකාධිපත්‍යය, ධර්‍මාධිපත්‍යයි.
මහණෙනි, ආත්මාධිපත්‍යය කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අරණ්‍යයට ගියේ හෝ වෘක්‍ෂමූලයට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි: ‘මම චීවරහේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. පිණ්ඩපාත හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. සෙනසුන් හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. මෙසේත් භවය, මෙසේත් භවයයි ඒ ඒ සම්පත්තිභව හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. වැලිදු ජාතියෙන් හා ජරාමරණයෙන් හා ශෝකයෙන් හා වැලපීමෙන් හා දුක්දොම්නසින් හා දැඩි ආයාසයෙන් හා වැදගන්නා ලදුයෙම් වෙමි. දුකට බටුයෙම්, දුකින් පීඩිත වූයෙම් වෙමි. මෙහැම දුක්රැසෙහි අවසන් කිරීමෙක් පැණෙන්නේ නම් මනාමැනු යී. තවද මම යම්බඳු වූ කාමයන් හැර ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් ද, එබඳු වූ කාමයන් හෝ එයට වඩා ඉතා ලාමක වූ කාමයන් හෝ සොයන්නෙම් නම්, එය මට තරම් නො වන්නේය යි. හෙතෙම මෙසේ නුවණින් සලකයි: ‘මවිසින් වීර්‍ය්‍යය සම්පූර්‍ණ කරණ ලද වෙයි. එහෙයින් ම නො හැකුළුනේ වෙයි. සිහිය එළඹ සිටියේ වෙයි. එහෙයින් ම නො මුළා වෙයි. කය සැහැල්ලු වෙයි. එහෙයින් ම සන්හුන් දරථ ඇත්තේ ය. සිත අරමුණෙහි පිහිටුවන ලද, එහෙයින් ම එකඟ වූයේ’ යි. හෙතෙම තමා ම අධිපති කොට අකුශලය දුරු කෙරෙයි, කුශලය වඩයි, සාවද්‍යය දුරලයි, අනවද්‍යය වඩයි, පිරිසිදු කොට ආත්මය පිරිවටයි. මෙය අත්තාධිපතෙය්‍ය යි කියනු ලැබේ.
මහණෙනි, ලෝකාධිපත්‍යය කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ වනසෙනස්නට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ මෙසේ සිතයි: ‘මම වනාහි චීවර හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි, පිණ්ඩපාතය හේතු කොට ගෙණ ... සෙනසුන් හේතු කොට ගෙණ හෝ ... මෙසේ මෙසේත් භවය, මෙසේත් භව යයි ඒ ඒ සම්පත්තිභවය හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. වැලිදු ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුක්දොම්නසින් දැඩි ආයාසයෙන් වැදගන්නා ලද්දෙම් දුකින් මඩන ලදුයෙම් දුකින් පීඩිත වූයෙම් වෙමි. මෙ හැම දුක්රැස අවසන් කිරීමෙක් පැණේ නම් මැනැවැ යි. මම ද, වැලිත් මෙසේ පැවිදි වූයෙම් ම කාමවිතර්‍කයක් හෝ කරන්නෙම් නම් , ව්‍යාපාදවිතර්‍කයක් හෝ කරන්නෙම් නම්, විහිංසාවිතර්‍කයක් හෝ කරන්නෙම් නම්, මේ ලෝකසන්නිවාසය වනාහි මහත් වූවෙකි. මහත් වූ ලෝකසන්නිවාසයෙහි ඍද්ධිමත් වූ දිවැස් ඇති පරසිත් දන්නා මහණ බමුණෝ ඇත. ඔවුහු දුරිනුදු දක්නාහ. සමීපස්ථවූවාහු නමුදු නො පැණෙන්නාහ. ඔවුන්ගේ සිතිනුදු මාගේ සිත දැන ගණිත්. තවද ඔවුහු මා මෙසේ දැනගන්නාහුය: ‘භවත්නි, මේ කුලපුත්හු බලව, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වන්නේ ලාමක අකුශලධර්‍මයන්ගෙන් ගැවසී ගත්තේ වෙසෙයි. ඍද්ධිමත් වූ දිවැස් ඇත්තා වූ පරසිත් දන්නා වූ දෙවියෝ ද ඇත. ඔවුහු ද දුරින් (මා) දකිත්. සමීපස්ථවූවාහු ද (ඔවුහු) නො පැණෙත්. ඔවුහු තමන් සිතිනුදු මා සිත දැනගන්නාහ. ඔවුහු ද මා මෙසේ දැන ගන්නාහ: ‘භවත්නි, මේ කුලපුත්හු බලව, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වන්නේ ම ලාමක අකුශලධර්‍මයන්ගෙන් ව්‍යාකීර්‍ණව වෙසේය’යි. හේ මෙසේ නුවණින් සලකයි: ‘මා විසින් වීර්‍ය්‍යය අරඹන ලද. එය නො හැකුළුනේ වෙයි. සිහිය එළඹ සිටියේය. එහෙයින් මුළා නුවූයේ ය. නාමකය සන්හිඳුනේ ය. එහෙයින් ම දරථ රහිත වෙයි. සිත සමාධිගත වූයේ ය. එහෙයින් ම එකඟ වේ ය’ යි. හේ ලෝකයා ම අධිපති කොට අකුශලය හැරලයි, කුශලය වඩයි, සාවද්‍යය දුරලයි, අනවද්‍යය වඩයි, පිරිසිදු කොට ආත්මය පිරිවටයි. මහණෙනි, මෙය ලෝකාධිපත්‍ය යි කියනු ලැබේ.
මහණෙනි, ධර්‍මාධිපත්‍යය කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ වන සෙනස්නට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසේ සිතයි: ‘මම වනාහි චීවරහේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. පිණ්ඩපාත හේතුයෙන් ගිහිගෙන් නික්ම ... සෙනසුන් හේතුයෙන් ... ඉතිභවාභව හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. වැලිදු ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුක්දොම්නසින් දැඩි ආයාසයෙන් අවතීර්‍ණවෙමි. දුකට බටුයෙම් දුකින් මඩනා ලදුයෙම් වෙමි. මේ හැම දුක් රැස අවසන් කිරීමෙක් පැණේ නම්, ඉතා මැනව. භාග්‍යවතුන් වහන්සේ විසින් සාන්දෘෂ්ටිකවූ අකාලික වූ ‘එව බලව’ යන විධානයට නිසි වූ උපනයනයට නිසි වූ නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වූ නවලෝකොත්තර ධර්‍මය මොනොවට ප්‍රකාශ කරණ ලදී. මට සමාන බඹසර ඇත්තාහු වෙත් ම ය. ඔහු මා දන්නාහු දක්නාහු වෙසෙත්. මම ද වනාහි මෙසේ ස්වාඛ්‍යාත වූ ශාසනයෙහි පැවිදි වූයෙම් ම කුසීත ව ප්‍රමත්ත ව වෙසෙම් නම්, එය මට නිසි නොවන්නේය’ යි. හෙතෙම මෙසේ නුවණින් සලකයි: ‘මා විසින් වීර්‍ය්‍යය පුරන ලද වෙයි. එහෙයින් ම නො හැකුළුනේ වෙයි. සිහිය එළඹ සිටියේ ය. එහෙයින් ම නුමුළා වූයේ ය. නාමකය සන්හින. එහෙයින් ම දරථ රහිත වෙයි. සිත සමාධිගත වූයේ ය. එහෙයින් ම එකඟ වේය’ යි. හෙතෙම ධර්‍මය ම අධිපති කොට අකුශලය හැරලයි, කුශලය වඩයි, සාවද්‍යය හැරලයි, අනවද්‍යය වඩයි, පිරිසුදු වූ ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මෙය ධර්‍මාධිපත්‍ය යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි ආධිපත්‍යයෝ තුන් දෙන යහ.
41. පව්කම් කරණුවහට ලොව්හි රහසෙක් නම් නැත. පුරුෂය, තාගේ ආත්මය (හිත) එය සැබවෙක් ද, නැතහොත් මුසායෙක් දැයි දන්නේ යි.
42. යම් බඳු වූ තෝ තමා කෙරෙහි ඇත්තාවූ ම පව තමාට සඟවන්නෙහි ද? පින්වත, තමා ඉක්මවා හඟනෙහි ද? මැනවෙක් වනාහි ඒකාන්තයෙන් ප්‍රත්‍යක්‍ෂය.
43. යම් හෙයෙකින් ලොව්හි විෂම ලෙස හැසිරෙන්නා වූ බාලයා දෙවියෝ ද තථාගතවරු ද දකිත් ද එහෙයින් ම සිහි ඇත්තාවූ ද තන්වැසි නුවණැත්තා වූ ද ධ්‍යාන කරණ සුලුවූ ද ධර්‍මය අනුව හැසිරෙන්නා වූ ද සත්‍යපරාක්‍රම ඇත්තාවූ ද යම් මහණෙක්
44. ප්‍රධන් වීර්‍ය්‍යය ඇත්තේ මාරයා මැඩ අන්තකයා අභිභවනය කොට රහත් බව ප්‍රත්‍යක්‍ෂ කෙළේ ද, අත්තාධිපති වූ ද ලෝකාධිපති වූ ද ධර්‍මාධිපති වූ ද ලෝකය දැනගත්තා වූ මනා නුවණැත්තා වූ එබඳු මුනි තෙම සියලු ත්‍රෛභූමික ධර්‍මයන්හි තම්මය නම් වූ තෘෂ්ණායෙන් තොර වූයේ ලෝකය දැනගත්තේ, නො පිරිහේ ය යී.
සතරවන දේවදූත වර්‍ගය යි.