3. 1. 4. 7.
37. මහණෙනි, අඩමසැ අටවක්හි සිවුමහරජුන්ගේ පිරිසට අයත් ඇමතියෝ ‘කිමෙක් ද? මිනිස් ලොව්හි බොහෝ මිනිස්සු මවුන් පුදනුවාහු ද, පියන් පුදනුවාහු ද, මහණුන් පුදනුවාහු ද, බමුණන් පුදනුවාහු ද, කුලදෙටුවන් පුදනුවාහු ද, පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් දැ’යි. මෙලොව සිසාරා ඇවිදිත්.
මහණෙනි, අඩමසැ තුදුස්වක්හි සිවුමහරජුන්ගේ පුත්‍රයෝ මේ ලෝකය වටාගෙණ ඇවිදිත්: ‘කිම, මිනිසුන් අතුරෙහි බොහෝ දෙනා මවුන් පුදනුවාහු ද, පියන් පුදනුවාහු ද, මහණුන් පුදන්නාහු ද, බමුණන් පුදන්නාහු ද, කුලදෙටුවන් පුදන්නාහු ද, පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් දැ’යි. මහණෙනි, ඒ පුරපසළොස්වක් පොහෝ දින සිවුමහරජවරු තුමූ ම මේ ලොව වටාගෙණ ඇවිදිත්. ‘කිම, මිනිසුන් අතුරෙහි බොහෝ දෙනා මවුන් පුදන්නාහු ද, පියන් පුදන්නාහු ද, මහණුන් පුදන්නාහු ද, බමුණන් පුදන්නාහු ද, කුලදෙටුවන් පුදන්නාහු ද, පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් දැ’යි.
මහණෙනි, ඉදින් මිනිසුන් අතුරෙහි මවුන් පුදන පියන් පුදන මහණුන් පුදන බමුණන් පුදන කුලදෙටුවන් පුදන මිනිස්සු ස්වල්ප වෙත් ද, (එසේ ම) ස්වල්ප මනුෂ්‍ය කෙනෙක් පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් ද, මහණෙනි, සතරවරම් මහරජවරු සුධර්‍මාසභායෙහි රැස්ව හුන් තව්තිසාවැසි දෙවියන්ට මෙකරුණ සැළ කරත්: ‘නිදුකානෙනි, මිනිස්ලොව්හි ස්වල්ප මනුෂ්‍ය කෙනෙක් මවුන්ට හිතවත්හ. පියනට හිතවත්හ. මහණුනට හිතවත්හ. බමුණනට හිතවත්හ. කුලදෙටුවන් පුදන්නාහ. පෙහෙවස් කරන්නාහ. පටිජාගර උපෝසථය කරන්නාහ. පින් කරන්නාහ’ යි. මහණෙනි, එයින් තව්තිසා වැසි දෙවියෝ ‘අහහ’ භවත්නි, දෙව්පිරිස්හු පිරිහෙන්නාහ, අසුර පිරිස්හු පිරෙන්නාහ’ යි නො සතුටු සිත් ඇත්තාහු වෙති.
මහණෙනි, ඉදින් මිනිස්ලොව බොහෝ මනුෂ්‍යයෝ මවුනට හිතවත් නම්, පියනට හිතවත් නම්, මහණුනට හිතවත් නම්, බමුණනට හිතවත් නම්, කුලදෙටුවන් පුදත් නම්, පෙහෙවස් වෙසෙත් නම්, පටිජාගර උපෝසථය කෙරෙත් නම්, පින් කෙරෙත් නම්, මහණෙනි, සිවුවරම් මහරජවරු සුධර්‍මාසභායෙහි රැස්ව හුන් තව්තිසාවැසි දෙවියනට මෙසේ සැළ කරත්: ‘නිදුකාණනි, මිනිසුන් අතුරෙහි බොහෝ මිනිස්සු මවුනට හිතවත්හ. පියනට හිතවත්හ. මහණුනට හිතවත්හ. බමුණනට හිතවත්හ. කුලදෙටුවන් පුදන්නාහ. පෙහෙවස් වසන්නාහ. පටිජාගර උපෝසථය වසන්නාහ. පින් කරන්නාහ’ යි. මහණෙනි, එයින් තව්තිසා වැසි දෙවියෝ ‘භවත්නි, ප්‍රීතියෙක! දෙව්පිරිස්හු පිරෙන්නාහ, අසුරපිරිස්හු පිරිහෙන්නාහ’ යි තුටුසිත් ඇත්තාහු වෙත්.
3. 1. 4. 8.
38. මහණෙනි, වූ විරීයෙකි: සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් ඇලුම් කරවමින් ඒ වෙලායෙහි මේ ගය කීය:
32. ‘ඉදින් යම් මිනිසෙක් මා’ බඳු වන්නේ නම්, ඒ මිනිස් පක්‍ෂයෙහි තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද, අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
මහණෙනි, සක්දෙවිඳු විසින් ඒ ගාථා වරදවා ගයන ලදු. මැනැවින් නො ගයන ලදු. වරදවා කියන ලදු. මැනැවින් නො කියන ලදු. ඒ කවරහෙයින යත්: සක්දෙවිඳු වනාහි පහ නො කළ රාග ඇත්තෙක. පහ නො කළ ද්වේෂ ඇත්තෙක. පහ නො කළ මෝහ ඇත්තෙක. මහණෙනි, ක්‍ෂය කළ ආස්‍රව ඇති, වැස නිම වූ මඟබඹසර ඇති, කරණ ලද සිවුමග කටයුතු ඇති, බහා තබන ලද කෙලෙස්බර ඇති, පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති, ක්‍ෂය කළ සසර බැඳුම් ඇති, මනාසේ දැන කෙලෙසුන් කෙරෙන් මිදුනු යම් රහත් මහණෙක් වේ ද, ඒ මහණහු විසින් මෙය කියන්නට නිසි ය.
33. ‘ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ ද, ඒ මිනිස් පක්‍ෂ පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් ඒ මහණ පහ වූ රාග ඇත්තේ වේ ද, පහ වූ ද්වේෂ ඇත්තේ වේ ද, පහ වූ මෝහ ඇත්තේ වේ ද, එහෙයිනි.
මහණෙනි, වූ විරීයෙකි: සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් ඇලුම් කරවමින් ඒ වෙලායෙහි මේ ගය කීය:
34. ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ නම්, ඒ මිනිස් පක්‍ෂ පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේය’යි.
මහණෙනි, සක්දෙවිඳු විසින් ඒ ගාථාව වරදවා ගයන ලදු. මැනැවින් නො ගයන ලදු, වරදවා කියන ලදු, මැනැවින් නො කියන ලදු. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් සක්දෙවිඳු ජාතියෙන් ද, ජරායෙන් හා මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, දුක්දොම්නසින් ද, දැඩි ආයාසයෙන් ද, හාත්පසින් නො මිදුනේ ද, එහෙයිනි. (හෙ තෙමේ) දුකින් නොමිදුනේ ය යි කියමි.
මහණෙනි, ක්‍ෂය කළ ආස්‍රව ඇති, වැස නිම වූ මඟබඹසර ඇති, කරණ ලද සිවුමග කටයුතු ඇති, බහා තැබූ කෙලෙස්බර ඇති, පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති, ක්‍ෂය කළ සසර බැඳුම් ඇති මනාසේ දැන කෙලෙසුන් ගෙන් මිදුනු යම් රහත් මහණෙක් වේ ද, ඒ මහණහු විසින් මෙය කියන්නට නිසි ය.
35. ‘ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ ද, ඒ මිනිස් පක්‍ෂය පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් ඒ මහණ ජාතියෙන් ද, ජරාමරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, කායිකදුකින් ද, දොම්නසින් ද, දැඩි ආයාසයෙන් ද, මිදුනේ ද, එහෙයිනි. (හෙ තෙමේ) දුකින් මිදුනේය යි කියමි.