3. 1. 4. 4.
34. මහණෙනි, (වෘත්තගාමී) කර්මයන්ගේ රැස් කිරීමට මේ කරුණු තුණෙකි. කවර තුණෙක යත්: කර්මයන්ගේ රැස් කිරීමට ලෝභය කරුණෙකි, කර්මයන්ගේ රැස් කිරීමට ද්වේෂය කරුණෙකි, කර්මයන්ගේ රැස් කිරීමට මෝහය කරුණෙකි.
මහණෙනි, ලෝභයෙන් කරණ ලද ලෝභයෙන් උපන් ලෝභය නිදාන කොට ඇති ලෝභය ප්රත්යය කොට ඇති යම් කර්මයෙක් වේ ද, යම් තැනෙක කර්මවත් ඔහුගේ පස්කඳ පහළ වේ ද, ඒ අත්බැව්හි ඔහුගේ ඒ කර්මය විපාක දෙයි. යම් තැනෙක ඒ කර්මය විපාක දෙන්නේ වේ ද, ඒ කර්මයාගේ විපාකය ඉහාත්මයෙහි හෝ දෙවන අත්බැව්හි හෝ අවකාශ ලත් යම් ම අත්බැවෙක හෝ විඳුනේය.
මහණෙනි, ද්වේෂයෙන් කරණ ලද ද්වේෂයෙන් උපන් ද්වේෂය නිදාන කොට ඇති ද්වේෂය ප්රත්යය කොට ඇති යම් කර්මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ පස්කඳ පහළ වේ නම්, ඒ අත්බැව්හි ඒ කර්මය විවස්නේ වෙයි. යම් තැනෙක ඒ කර්මය විවස්නේ ද, මේ භවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, තදන්යභවයෙක වේවයි, එහි ඒ කර්මවිපාකය විඳුනේ ය.
මහණෙනි, මෝහයෙන් කරණ ලද මෝහයෙන් උපන් මෝහය නිදාන කොට ඇති මෝහය ප්රත්යය කොට ඇති යම් කර්මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය පහළ වේ නම්, ඒ අත්බැව්හි ඒ කර්මය විවස්නේ වෙයි. යම් තැනෙක ඒ කර්මය විවස්නේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන භවයෙහි වේවයි, තදන්යභවයෙක වේවයි, එහි ඒ කර්මවිපාකය විඳුනේ ය.
මහණෙනි, යම්සේ නොබුන් කුණු නුවූ අව්සුළඟින් නොපහළ ඇදගත් සාරය ඇති සුවයෙන් හොත් මනා කෙතෙක්හි මොනොවට සහට බිම්හි වපුළ බීජකෙනෙක් වෙත් ද, මේඝය ද සම්යක් ධාරාව වර්ෂණ කෙරේ ද, මහණෙනි, එසේ ඇතිකල්හි ඒ බීජයෝ (අකුර නැඟීමෙන්) වෘද්ධියට (මුල්බැස ගැණීමෙන්) විරූඪියට (පැතිරීමෙන්) වෛපුල්යයට යන්නාහ. මහණෙනි, එපරිද්දෙන් ම ලෝභයෙන් කරන ලද ලෝභයෙන් උපන් ලෝභය නිදාන කොට ඇති ලෝභය ප්රත්යය කොට ඇති යම් කර්මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය (පස්කඳ) පහළ වේ ද, ඒ අත්බැව්හි ඒ කර්මය විවස්නේය. යම් තැනෙක ඒ කර්මය විවස්නේ වේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, තදන්යභවයෙක වේවයි, එහි ඒ කර්ම විපාකය විඳුනේය.
ද්වේෂයෙන් කරණ ලද යම් කර්මයෙක් වේ ද ... මෝහයෙන් කරණ ලද මෝහයෙන් උපන් මෝහය නිදාන කොට ඇති මෝහය ප්රත්යය කොට ඇති යම් කර්මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය පහළ වේ ද, එහි ඔහුගේ ඒ කර්මය විවස්නේය. යම් තැනෙක ඒ කර්මය විවස්නේ වේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, එයින් අන් අත්බැවෙක්හි වේවයි එහි ඒ කර්මවිපාකය විඳුනේය. මහණෙනි, (වෘත්තගාමී) කර්මයන්ගේ සමුදය පිණිස මේ නිදානයෝ තුන් දෙන වෙති.
මහණෙනි, වෘත්තගාමී කර්මයන්ගේ සමුදය පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක් යත්: වෘත්තගාමී කර්මයන්ගේ සමුදය පිණිස අලෝභය නිදාන වේ. වෘත්තගාමී කර්මයන්ගේ සමුදය පිණිස අදෝසය නිදානය වේ. වෘත්තගාමී කර්මයන්ගේ සමුදය පිණිස අමෝහය නිදානය වේ.
මහණෙනි, අලෝභයෙන් කරණ ලද අලෝභයෙන් උපන් අලෝභය නිදාන කොට ඇති අලෝභය සමුදය කොට ඇති යම් කර්මයෙක් වේ ද, ලෝභය පහ වූ කල්හි මෙසේ ඒ කර්මය ප්රහත වේ. උපුටා හළ මුල් ඇති වේ. මුදුන සිඳලූ (තාලවස්තුවක් මෙන්) කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ.
මහණෙනි, අද්වේෂයෙන් කරණ ලද අද්වේෂයෙන් උපන් අද්වේෂය නිදාන කොට ඇති අද්වේෂය සමුදය කොට ඇති යම් කර්මයෙක් වේ ද, ද්වේෂය පහ වූ කල්හි මෙසේ ඒ කර්මය ප්රහත වේ. උපුටා හළ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. මතු නොවැඩීම කරණ ලද්දේ වේ. මතු නූපදනා සැහැවි ඇති වේ.
මහණෙනි, අමෝහයෙන් කරණ ලද අමෝහයෙන් උපන් අමෝහය නිදාන කොට ඇති අමෝහය සමුදය කොට ඇති යම් කර්මයෙක් වේ ද, මෝහය පහ වූ කල්හි මෙසේ ඒ කර්මය ප්රහත වේ. උපුටා හළ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ.
මහණෙනි, යම්සේ නො බුන් කුණු නුවූ අව්සුළඟින් නොපහළ ඇදගත් සාරය ඇති, මොනොවට හොත් බිජුවට ඇත් ද, ඒ බිජුවට පුරුෂයෙක් ගින්නෙන් දවන්නේ ද, ගින්නෙන් දවා හළු කරන්නේ ද, හළු කොට මහසුළඟෙහි හෝ පොළාහරණේ ද, සැඩ දියපහර ඇති නදියෙක්හි හෝ උල්පවා හරණේ ද, මහණෙනි, එසේ ඇති කල්හි ඒ බිජුවට සිඳලූ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. මත්තෙහි නූපදනා සැහැවි ඇති වේ. මහණෙනි, එපරිද්දෙන් ම අලෝභයෙන් කරණ ලද අලෝභයෙන් උපන් අලෝභය නිදාන කොට ඇති අලෝභය සමුදය කොට ඇති යම් කර්මයෙක් වේ ද, ලෝභය පහවූ කල්හි මෙසේ ඒ කර්මය ප්රහත වේ. සිඳලූ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ.
අද්වේෂයෙන් කරණ ලද යම් කර්මයෙක් වේ ද ... අමෝහයෙන් කරණ ලද අමෝහයෙන් උපන් අමෝහය නිදාන කොට ඇති අමෝහය සමුදය කොට ඇති යම් කර්මයෙක් වේ ද, මෝහය පහ වූ කල්හි ඒ කර්මය ප්රහත වේ. සිඳලූ මුල් ඇති වේ. (මුදුන සිඳලූ) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ. මහණෙනි, වෘත්තගාමී කර්මයන්ගේ සමුදය පිණිස වූ තුන් නිදානයෝයි.
22. අන්ධ බාල තෙම ලෝභයෙන් උපන් හෝ ද්වේෂයෙන් උපන් හෝ ස්වල්ප වූ හෝ බොහෝ වූ යම් කර්මයක් කරයි ද, ඔහු විසින් කරණ ලද ඒ කර්මය මේ අත්බැව්හි ම වින්ද යුතු වේ. (එහි විපාක දීමට) අන් තැනෙක් නැත.
23. එහෙයින් පණ්ඩිත භික්ෂු තෙම අර්හත්ත්වමාර්ඥානවිද්යාව උපදවන්නේ ලෝභයෙන් උපන් හෝ ද්වේෂයෙන් උපන් හෝ මෝහයෙන් උපන් කර්ම ද සියලු දුගතීන් ද දුර ලන්නේ යයි.