3. 1. 4. 5.
35. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ අළව්රට ගොන්මග ඇට්ටර වෙනෙහි කොළ ඇතිරියෙහි වැඩවසන සේක. එකල්හි හත්ථක ආළවක නම් රජපුත් ජඞ්ඝාවිහාරය කොට සක්මන් කරනුයේ ඇවිදිනුයේ ගොන්මග ඇට්ටර වෙන්හි කොළ ඇතිරියෙහි වැඩහුන් භාග්යවතුන් වහන්සේ දුටුයේය. දැක භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් ව හින. එකත්පස්ව හුන් හත්ථක ආළවක භාග්යවතුන් වහන්සේට මෙය කීය: කිමෙක් ද, වහන්ස, භාග්යවතුන් වහන්සේ සුවසේ හොත්සේක් ද? කුමාරය, එසේ ය. සුවසේ හොත්මි. ලොව්හි යම් කෙනෙක් සුවසේ හොවිත් නම්, මම ඔවුන් අතුරෙන් අන්යතරයෙක්මි.
වහන්ස, හේමන්තයට අයත් රැය ශීතය, (නවම් මැදින් දෙමස අගමුල අට දවස) හිම වැටෙන කාලය වේ. බිම රළුය, ගොකුරකටුයෙන් බිඳින. පත් ඇතිරිය තූනීය. ගසේ කොළ ද විරල ය. කසාවත් සිහිලැ. සිහිල් වේරම්බ වාතය ද හමයි. එතෙකුදු වුව භාග්යවතුන් වහන්සේ මෙසේ වදාරණ සේක: ‘කුමාරය, එසේ ය. සුවසේ හොත්මි. ලොව්හි යම් කෙනෙක් සුවසේ හොවිත් නම්, මම ඔවුනතුරෙන් අන්යතරයෙක්මි යි.’
කුමාරය, එසේ නම් මෙහිලා තා ම පුළුවුස්මි. යම්සේ තට රුස්නේ නම්, එසේ ප්රකාශ කරව. කුමාරය, එය කිමැයි හඟනෙහි ද? මෙ ලොව්හි ගැහැවියකුහට හෝ ගැහැවි පුතකුට හෝ ඇතුළත පිටත අලෙව් දුන් වාතයෙන් තොර වූ වැද්දූ අගුල් ඇති යෙදූ වා කවුළු ඇති කුළුගෙයක් වන්නේ නම්, එහි කළුකොඳු පලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළ, ඝනපුප් එළුලොම් ඇතිරි අතුළ, කෙහෙල්මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති, උඩුවියන් සහිත හිස්දොර හා පාමුල දෙපස රත් කන්වයින් ඇති පලඟෙක් ඇත් නම්, තෙල් පහනෙක් ද එහි දැල්වේ නම්, පාදපරිචාරිකාවෝ සිවුදෙනකුත් මනාප මනාප උපස්ථානයෙන් එළඹ සිටියාහු නම්, කුමාරය, එය කිමැයි සිතයි ද? හෙතෙම සුවසේ හෝනේ හෝ වේ ද? නොහොත් නො වේ ද? මෙහිලා තට කෙබඳු සිතෙක් හෝ වේ දැ”යි?
‘වහන්ස, හෙතෙම සැපසේ හෝනේය. ලොව්හි යම් කෙනෙකුන් සුවසේ හොවිත් නම්, හෙතෙම ඔවුනතුරෙන් අන්යතරයෙකැ’යි කීය. කුමාරය, එසේ නම් මෙහිලා තා ම පුළුවුස්මි. යම්සේ තට රුස්නේ නම්, එසේ ප්රකාශ කරව.
‘කුමාරය, ‘එය කිමැ’යි සිතයි ද? රාගයෙන් උපන් යම්බඳු පරිදාහයෙන් දැවෙන හෙතෙම දුකසේ හෝනේ නම්, එබඳු කය පිළිබඳ වූ හෝ සිත පිළිබඳ වූ හෝ රාගයෙන් උපන් පරිදාහයෝ ඒ ගෘහපතියාට හෝ ගෘහපතිපුත්රයාට හෝ උපදනාහු ද? ‘වහන්ස, එසේය’. ‘කුමාරය, ඒ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්රයා හෝ රාගයෙන් උපන් යම් දැවිල්ලෙකින් හාත්පසින් දැවෙන්නේ දුකසේ හෝනේ නම්, ඒ රාගය තථාගයන් වහන්සේට ප්රහතය, උපුටා හළ මුල් ඇත්තේය, (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේය. නැවත නොවැඩීම කරණ ලද්දේය. නැවත නූපදනා සැහැවි ඇත්තේය. එහෙයින් මම සුවසේ හොත්මි. ‘කුමාරය, එය කිමැ’යි සිතයි ද? ඒ ගෘහපතියාහට හෝ ගෘහපතිපුත්රයාහට හෝ ද්වේෂයෙන් උපන් දැවිලිහි ඉදින් උපදනාහු ද? -පෙ- හෙතෙම යම්බඳු මෝහයෙන් උපන් දැවිල්ලෙන් දැවෙන්නේ දුකසේ හොවී නම්, එබඳු වූ කායික හෝ චෛතසික හෝ මෝහයෙන් උපන් දැවිලිහි උපදින්නාහු ද? ‘වහන්ස, එසේය.’ ‘කුමාරය, ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්රයා හෝ මෝහයෙන් උපන් යම්බඳු දැවිල්ලෙකින් දැවෙන්නේ දුකසේ හෝනේ නම්, ඒ මෝහය තථාගතයනට ප්රහතය. උපුටා හළ මුල් ඇත්තේය. (මුදුන සිඳලූ) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේය. නැවත නොවැඩීම කරණ ලද්දේය. මතු නූපදනා සැහැවි ඇත්තේය. එහෙයින් මම සුවසේ හොත්මි’යි.
24. (කෙලෙස් පිරිනිවීමෙන්) පිරිනිවීගිය (කෙලෙස්තැවීම නැති බැවින්) සිහිල් වූ ක්ලේශෝපධීන්ගේ අභාවයෙන් උපධි රහිත වූ යමෙක් වස්තුකාම ක්ලේශකාමයන්හි නො ඇලේ ද, ඒ ක්ෂීණාස්රව බ්රාහ්මණ තෙම හැමකල්හි සැපසේ හොවියි.
25. සියලු තෘෂ්ණාවන් සිඳ සිත්හි ක්ලේශදරථ සංහිඳුවා චිත්තශාන්තියට පැමිණ සංහුන් වූයේ සුවසේ හෝනේය යි.
3. 1. 4. 6.
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, මේ දේවදූතයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි එකෙක් කයින් දුසිරිත් කරනේය. වචනයෙන් දුසිරිත් කරනේය. සිතින් දුසිරිත් කරනේය. හෙතෙම කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මත්තෙහි අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නරකයට පැමිණෙයි. මහණෙනි, යමපල්හු ඔහු වෙන වෙන අත්හි ලා ගෙණ යමරජුට දක්වත්. ‘දේවයන් වහන්ස, මේ පුරුෂ මවට අහිතයෙක, පියාට අහිතයෙක, මහණුනට අහිතයෙක, බමුණනට අහිතයෙක, කුලදෙටුවන් නොපුදන්නෙක. දේවයන් වහන්සේ මුහුට දඬුවම් එළවත්වා’ යී.
මහණෙනි, යමරජ ඔහුගෙන් පළමු දේවදූතයා අනුයෝග වතට නඟා විචාරයි. ලබ්ධියෙහි පිහිටුවයි, කරුණු විචාරයි: ‘එම්බා පුරුෂය, මිනිසුන් අතුරෙහි පහළ වූ පළමු දේවදූතයා තෝ නොදිටිහි ද?’ හේ මෙසේ කියයි. ‘වහන්ස, නො දිටිමි.’
මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි උපතින් අසූවස් ගියා වූ හෝ අනූවස් ගියා වූ හෝ සියවස් ගියා වූ හෝ දිරූ ගොනැස්සක් මෙන් නැමූනා වූ වක් වූ සැරයටිය පිහිට කොට ඇති ව වෙවුළමින් යන්නා වූ ජරායෙන් ආතුර වූ ගිය යොවුන් විය ඇති, කඩදත් ඇති, පැසුනු කෙස් ඇති, මුඩු හිස් ඇති, මට්ටත්තල ඇති, හටගත් රැලි ඇති, තලකැලලින් යුත් සිරුරු ඇති, ස්ත්රියක හෝ පුරුෂයකු, නොදිටිහි ද?’ හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි.’
මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, මහලු වූ නුවණැත්තා වූ ම ඒ තාහට මෙබඳු සිතෙක් නො වී ද? ‘මම ද ජරාව නො ඉක්ම වූයෙම් ජරාව ස්වභාව කොට ඇත්තෙම් වෙමි. ඉදින් මම කයින් වචසින් මනසින් කලණ දහම් පුරුදු කෙරෙම් නම් මැනවැ’ යි. හෙතෙම මෙසේ කියයි: ‘වහන්ස, නො හැකිවීමි. වහන්ස, පමා වීමි’යී.
ඔහට යමරජ මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමාවත් බැවින් කයින් වචසින් මනසින් කුසල් නො කෙළෙහි, එම්බා පුරුෂය, එහෙයින් ඒ පමාවූවහුට යම්සේ ද එසේ තට කරන්නාහ. ඒ මේ පාපකර්මය වනාහි මව විසින් නො ම කරණ ලද්දේ ය. පියා විසින් නො ම කරණ ලද්දේ ය. බෑයා විසින් නො ම කරණ ලද්දේ ය. බිහිනිය විසින් නො ම කරණ ලද්දේ ය. සගයහළුවන් විසිනුදු නො ම කරණ ලද්දේ ය. නෑ සහලේ නෑයන් විසිනුදු නො ම කරණ ලද්දේ ය. දෙවියන් විසින් නො ම කරණ ලද්දේ ය. මහණ බමුණන් විසින් නො ම කරණ ලද්දේ ය. වැලිදු තා විසින් ම මේ පාපකර්මය කරණ ලදී. තෝ ම මේ කර්මයාගේ විපාක විඳුව’ යි.