3. 1. 4. 3.
33. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක: ‘ශාරීපුත්රයෙනි, මම සැකෙවිනුදු දහම් දෙසමි. ශාරීපුත්රයෙනි, මම විතර විසිනුදු දහම් දෙසමි. සංක්ෂේපවිස්තර දෙකිනුදු දහම් දෙසමි. එතෙකුදුවත් ප්රතිවේධ කරණුවෝ දුර්ලභයහ යි. භාග්යවතුන්වහන්සේ යම් හෙයෙකින් සැකෙවිනුදු දහම් දෙසන සේක් ද, විතර විසිනුදු දහම් දෙසන සේක් ද, සංක්ෂේපවිස්තර දෙකිනුත් දහම් දෙසන සේක් ද, භාග්යවතුන් වහන්ස, මේ එයට කලි. සුගතයන් වහන්ස, මේ එයට කලි. ධර්මය ප්රතිවේධ කරණුවෝ වෙති යි.
ශාරීපුත්රයෙනි, එසේ හෙයින් මේ සවිඥානක ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවන්නාහු ද, බාහ්ය වූ හැම නිමිත්හිදු අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවන්නාහු ද, යම් ඵලසමාධියකටත් ඵලප්රඥාවකටත් පැමිණ වාසය කරන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම් ඒ ඵලසමාධියට ද ඵලප්රඥාවට ද පැමිණ වසන්නම්හ යි මෙසේ හික්මිය යුතුයි. ශාරීපුත්රයෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
ශාරීපුත්රයෙනි, යම් කලෙක පටන්ගෙණ භික්ෂුහට සවිඥානක වූ මේ ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවෙත් නම්, බාහිර වූ සියලු නිමිත්තයෙහිදු අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවෙත් නම්, යම් ඵලසමාධියකට ද යම් ඵලප්රඥාවකට ද පැමිණ වාසය කරන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, ඒ ඵලසමාධියට ද ඵලප්රඥාවට ද පැමිණ වෙසේ නම්, ශාරීපුත්රයෙනි, මේ භික්ෂු තෘෂ්ණාව සිඳලී ය යි ද, සංයෝජන උපුටා හළේ ය යි ද, මනා පිළිවෙතින් මානය සංහිඳවීමෙන් සසරදුක් අවසන් කෙළේය යි ද, කියනු ලැබේ. ශාරීපුත්රයෙනි, මෙය සඳහා ම පාරායණ වර්ගයෙහි උදය ප්රශ්නයෙහි මා විසින් තෙල දෙසන ලදී:
20-21. කාමසංඥාවන්ගේ ද දොම්නසුන්ගේ දැයි මේ ධර්මයන් දෙදෙනාගේ ප්රහාණය ද ථීනමිද්ධයාගේ දුරලීම ද කුක්කුච්චයන්ගේ වැළැහීම ද චතුර්ත්ථධ්යානයට අයත් ඵලයෙහි උපන් උපේක්ෂායෙන් හා ස්මෘතියෙන් පිරිසිදු වූ සම්යක්සංකල්පය පෙරට කොට සිටි අඤ්ඤින්ද්රියයාගේ කෙළවර උපදනා අර්හත්ඵලය අවිද්යාව බිඳීමය යි කියමි.
3. 1. 4. 4.
34. මහණෙනි, (වෘත්තගාමී) කර්මයන්ගේ රැස් කිරීමට මේ කරුණු තුණෙකි. කවර තුණෙක යත්: කර්මයන්ගේ රැස් කිරීමට ලෝභය කරුණෙකි, කර්මයන්ගේ රැස් කිරීමට ද්වේෂය කරුණෙකි, කර්මයන්ගේ රැස් කිරීමට මෝහය කරුණෙකි.
මහණෙනි, ලෝභයෙන් කරණ ලද ලෝභයෙන් උපන් ලෝභය නිදාන කොට ඇති ලෝභය ප්රත්යය කොට ඇති යම් කර්මයෙක් වේ ද, යම් තැනෙක කර්මවත් ඔහුගේ පස්කඳ පහළ වේ ද, ඒ අත්බැව්හි ඔහුගේ ඒ කර්මය විපාක දෙයි. යම් තැනෙක ඒ කර්මය විපාක දෙන්නේ වේ ද, ඒ කර්මයාගේ විපාකය ඉහාත්මයෙහි හෝ දෙවන අත්බැව්හි හෝ අවකාශ ලත් යම් ම අත්බැවෙක හෝ විඳුනේය.
මහණෙනි, ද්වේෂයෙන් කරණ ලද ද්වේෂයෙන් උපන් ද්වේෂය නිදාන කොට ඇති ද්වේෂය ප්රත්යය කොට ඇති යම් කර්මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ පස්කඳ පහළ වේ නම්, ඒ අත්බැව්හි ඒ කර්මය විවස්නේ වෙයි. යම් තැනෙක ඒ කර්මය විවස්නේ ද, මේ භවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, තදන්යභවයෙක වේවයි, එහි ඒ කර්මවිපාකය විඳුනේ ය.
මහණෙනි, මෝහයෙන් කරණ ලද මෝහයෙන් උපන් මෝහය නිදාන කොට ඇති මෝහය ප්රත්යය කොට ඇති යම් කර්මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය පහළ වේ නම්, ඒ අත්බැව්හි ඒ කර්මය විවස්නේ වෙයි. යම් තැනෙක ඒ කර්මය විවස්නේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන භවයෙහි වේවයි, තදන්යභවයෙක වේවයි, එහි ඒ කර්මවිපාකය විඳුනේ ය.
මහණෙනි, යම්සේ නොබුන් කුණු නුවූ අව්සුළඟින් නොපහළ ඇදගත් සාරය ඇති සුවයෙන් හොත් මනා කෙතෙක්හි මොනොවට සහට බිම්හි වපුළ බීජකෙනෙක් වෙත් ද, මේඝය ද සම්යක් ධාරාව වර්ෂණ කෙරේ ද, මහණෙනි, එසේ ඇතිකල්හි ඒ බීජයෝ (අකුර නැඟීමෙන්) වෘද්ධියට (මුල්බැස ගැණීමෙන්) විරූඪියට (පැතිරීමෙන්) වෛපුල්යයට යන්නාහ. මහණෙනි, එපරිද්දෙන් ම ලෝභයෙන් කරන ලද ලෝභයෙන් උපන් ලෝභය නිදාන කොට ඇති ලෝභය ප්රත්යය කොට ඇති යම් කර්මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය (පස්කඳ) පහළ වේ ද, ඒ අත්බැව්හි ඒ කර්මය විවස්නේය. යම් තැනෙක ඒ කර්මය විවස්නේ වේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, තදන්යභවයෙක වේවයි, එහි ඒ කර්ම විපාකය විඳුනේය.
ද්වේෂයෙන් කරණ ලද යම් කර්මයෙක් වේ ද ... මෝහයෙන් කරණ ලද මෝහයෙන් උපන් මෝහය නිදාන කොට ඇති මෝහය ප්රත්යය කොට ඇති යම් කර්මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය පහළ වේ ද, එහි ඔහුගේ ඒ කර්මය විවස්නේය. යම් තැනෙක ඒ කර්මය විවස්නේ වේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, එයින් අන් අත්බැවෙක්හි වේවයි එහි ඒ කර්මවිපාකය විඳුනේය. මහණෙනි, (වෘත්තගාමී) කර්මයන්ගේ සමුදය පිණිස මේ නිදානයෝ තුන් දෙන වෙති.