3. 1. 2. 6.
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත භික්ෂු තෙම අවිරුද්ධ ප්රතිපත්තියට පිළිපන්නේ වෙයි. ඔහු විසින් ආස්රවයන්ගේ ක්ෂයය පිණිස කරුණ ද පටන්ගන්නා ලද්දේ වේ. කවර තුණෙකින යත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඉන්ද්රියයන් විෂයයෙහි රක්නා ලද දොර ඇත්තේ වේ. භෝජනයෙහි මාත්රඥ වේ. නිදිවැරීමෙහි යෙදුණේ වේ.
මහණෙනි, භික්ෂු තෙම කෙසේ ඉන්ද්රිය විෂයයෙහි රක්නා ලද දොර ඇති වේ ද, මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ වේ අනුබ්යඤ්ජන වශයෙන් නො ගන්නේ වේ. යම් කරුණෙකින් චක්ෂුරින්ද්රියය අසංවර කොට වාසය කරණ මේ පුද්ගලයා අභිධ්යා දෞර්මනස්ය නම් වූ ලාමක අකුශල ධර්මයෝ ලුහු බඳනාහු ද, ඒ චක්ෂුරින්ද්රියයාගේ සංවරය පිණිස පිළිපදනේ ය. චක්ෂුරින්ද්රියය රක්නේ ය. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙන්නේ ය. කණින් ශබ්දයක් අසා ... නාසිකායෙන් ගඳක් ආඝ්රාණය කොට ... දිවෙන් රසයක් විඳ ... කයින් ස්ප්රෂ්ටව්යයක් ස්පර්ශ කොට ... සිතින් දහමක් දැන නිමිති වශයෙන් නොගන්නේ වේ ද, අනුබ්යඤ්ජන වශයෙන් නො ගන්නේ වේ ද, අභිධ්යා දෞර්මනස්ය නම් වූ ලාමක අකුශලධර්මයෝ තුමූ ම ඉන්ද්රිය සංවර කොට නොගෙණ වසන මේ පුඟුලා යම් හෙයෙකින් ලුහු බඳනාහු ද, ඒ මනින්ද්රියයාගේ සංවරය පිණිස පිළිපදියි. මනින්ද්රිය රකියි. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මහණ තෙමේ මෙසේ ඉන්ද්රිය විෂයයෙහි වැසූ ද්වාර ඇති වේ.
මහණෙනි, මහණ තෙම කෙසේ භෝජනයෙහි මාත්රඥ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම නුවණින් සලකා අහර ගණියි. කෙළි පිණිස නො වේ, මද පිණිස නො වේ, අඩුතැන් පිරවීම පිණිස නො වේ, සැරසීම පිණිස නො වේ, මේ සිරුර පැවැත් ම පිණිස ම වේ, යැපීම පිණිස ම වේ, සාගිනි වේදනාව වැළැක් ම පිණිස ම වේ, ශාසනමාර්ගබ්රහ්මචර්ය්යහට අනුග්රහ පිණිස ම වේ, මෙසේ පැරණි කුසගිනි වේදනාව නසන්නෙමි. අභිනව වේදනා නූපදවන්නෙමි. මාගේ ජීවිත යාත්රාව ද වන්නේ ය. නිදොස්බව ද නිවැරදිබව ද පහසු විහරණය ද වන්නේ ය යනුයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ භෝජනයෙහි පමණ දන්නේ වේ.
මහණෙනි, මහණ තෙම කෙසේ වනාහි නිදිවැරීමෙහි යෙදුනේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ දවල් සක්මනින් ද හිඳීමෙන් ද නීවරණධර්මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. රෑ පළමු යම සක්මනින් ද හිඳීමෙන් ද නීවරණධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදියම දකුණු පයෙහි වම්පය මඳක් හයා තබා නැගීසිටුනා සංඥාව මෙනෙහි කොට සිහි ඇත්තේ නුවණ ඇත්තේ සිංහ ශය්යාව කරයි. රෑ පැසුළුයම නැගිට සක්මනින් ද හිඳීමෙන් ද නීවරණධර්මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ නිදිවැරීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත මහණ අවිරුද්ධ ප්රතිපත්තියට පිළිපන්නේ වෙයි. ආස්රවයන්ගේ ක්ෂයය පිණිස කරුණ ද පටන්ගන්නා ලද්දේ වෙයි.
3. 1. 2. 7.
17. මහණෙනි, මේ ධර්මයෝ තුන්දෙනෙක් තමාට පීඩාව පිණිස ද පවත්නාහ. මෙරමාහට පීඩාව පිණිස ද පවත්නාහ. දෙදෙනාහට ම පීඩා පිණිස පවත්නාහ. කවර තුන්දෙනෙක යත්: කායදුශ්චරිත ය වාග්දුශ්චරිත ය මනෝදුශ්චරිත යි. මහණෙනි, මේ ධර්මයෝ තුන්දෙන තමාට හිංසාව පිණිස ද පවත්නාහ. මෙරමාහට හිංසාව පිණිස ද, දෙදෙනාහට හිංසාව පිණිස ද පවත්නාහ.
මහණෙනි, මේ ධර්මයෝ තුන්දෙනෙක් තමාට පීඩා පිණිස ද නො පවත්නාහ. මෙරමාහට පීඩා පිණිස ද නො පවත්නාහ. දෙදෙනාහට ම පීඩා පිණිස නො පවත්නාහ. කවර තුන්දෙනෙක යත්: කායසුචරිතය වාක්සුචරිතය මනඃසුචරිත යි. මහණෙනි, මේ ධර්මයෝ තුන්දෙන තමාට පීඩා පිණිස ද නො පවත්නාහ. මෙරමාහට පීඩා පිණිස ද නො ම පවත්නාහ. දෙදෙනාහට ම පීඩා පිණිස ද නො ම පවත්නාහ.
3. 1. 2. 8.
18. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, දෙව්ලොව උපදනා සඳහා මහණගොයුම්හු කෙරෙහි බඹසරවස් වැසෙන්නේ වේ දැ” යි මෙසේ පුළුවුස්නාහු නම්, මහණෙනි, තෙපි මෙසේ පුළුවුස්නා ලද්දහු පීඩිතවන්නහු නොවවු ද, ලජ්ජිතවන්නහු නොවවු ද, ජුගුප්සා ඇත්තහු නොවවු දැ යි. වහන්ස, එසේය. මහණෙනි, මෙසේ තෙපි දිව්ය ආයුෂින් පීඩිත වව, ලජ්ජිත වව, හටගත් ජුගුප්සා ඇති වව, දිව්ය වූ වර්ණයෙන් - දිව්ය වූ සුඛයෙන් - දිව්ය වූ යශසින් - දිව්ය වූ ආධිපත්යයෙන් පීඩිත වව, ලජ්ජිත වව, ජුගුප්සා ඇති වව, මහණෙනි, තොප විසින් කැල ම කායදුශ්චරිතයෙන් පීඩිත වුව මැනව, ලජ්ජිත වුව මැනව, ජුගුප්සා ඇති වුව මැනව. වාග්දුශ්චරිතයෙන් ... මනෝදුශ්චරිතයෙන් පීඩිත වුව මැනව, ලජ්ජිත වුව මැනව, ජුගුප්සා ඇති වුව මැනව.