3. 1. 2. 7.
17. මහණෙනි, මේ ධර්මයෝ තුන්දෙනෙක් තමාට පීඩාව පිණිස ද පවත්නාහ. මෙරමාහට පීඩාව පිණිස ද පවත්නාහ. දෙදෙනාහට ම පීඩා පිණිස පවත්නාහ. කවර තුන්දෙනෙක යත්: කායදුශ්චරිත ය වාග්දුශ්චරිත ය මනෝදුශ්චරිත යි. මහණෙනි, මේ ධර්මයෝ තුන්දෙන තමාට හිංසාව පිණිස ද පවත්නාහ. මෙරමාහට හිංසාව පිණිස ද, දෙදෙනාහට හිංසාව පිණිස ද පවත්නාහ.
මහණෙනි, මේ ධර්මයෝ තුන්දෙනෙක් තමාට පීඩා පිණිස ද නො පවත්නාහ. මෙරමාහට පීඩා පිණිස ද නො පවත්නාහ. දෙදෙනාහට ම පීඩා පිණිස නො පවත්නාහ. කවර තුන්දෙනෙක යත්: කායසුචරිතය වාක්සුචරිතය මනඃසුචරිත යි. මහණෙනි, මේ ධර්මයෝ තුන්දෙන තමාට පීඩා පිණිස ද නො පවත්නාහ. මෙරමාහට පීඩා පිණිස ද නො ම පවත්නාහ. දෙදෙනාහට ම පීඩා පිණිස ද නො ම පවත්නාහ.
3. 1. 2. 8.
18. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, දෙව්ලොව උපදනා සඳහා මහණගොයුම්හු කෙරෙහි බඹසරවස් වැසෙන්නේ වේ දැ” යි මෙසේ පුළුවුස්නාහු නම්, මහණෙනි, තෙපි මෙසේ පුළුවුස්නා ලද්දහු පීඩිතවන්නහු නොවවු ද, ලජ්ජිතවන්නහු නොවවු ද, ජුගුප්සා ඇත්තහු නොවවු දැ යි. වහන්ස, එසේය. මහණෙනි, මෙසේ තෙපි දිව්ය ආයුෂින් පීඩිත වව, ලජ්ජිත වව, හටගත් ජුගුප්සා ඇති වව, දිව්ය වූ වර්ණයෙන් - දිව්ය වූ සුඛයෙන් - දිව්ය වූ යශසින් - දිව්ය වූ ආධිපත්යයෙන් පීඩිත වව, ලජ්ජිත වව, ජුගුප්සා ඇති වව, මහණෙනි, තොප විසින් කැල ම කායදුශ්චරිතයෙන් පීඩිත වුව මැනව, ලජ්ජිත වුව මැනව, ජුගුප්සා ඇති වුව මැනව. වාග්දුශ්චරිතයෙන් ... මනෝදුශ්චරිතයෙන් පීඩිත වුව මැනව, ලජ්ජිත වුව මැනව, ජුගුප්සා ඇති වුව මැනව.
3. 1. 2. 9.
19. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත වෙණෙඳ නොලැබූ භොග ලබන්නට වේවයි ලැබූ භෝග දියුණු කරන්නට වේවයි අභව්යයෙකි. කවර අඞ්ග තුණෙකින යත්: මහණෙනි, මෙලොව්හි වෙණෙඳ පෙරවරු කාලයෙහි සකසා කර්මාන්තයෙහි නො සිටුනේ ද, මධ්යාහ්න කාලයෙහි කර්මාන්තයෙහි සකසා නො සිටුනේ ද, සවස් කාලයෙහි කර්මාන්තයෙහි සකසා නොසිටුනේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්වාගත වූ වෙණෙඳ නොලත් භොග ලබා ගන්නට වේවයි ලැබූ භොග දියුණු කරන්නට වේවයි අභව්ය වේ.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්ම තුණෙකින් සමන්වාගත වූ මහණ නොලත් කුසල්දහම් ලබන්නට වේවයි ලැබූ කුසල්දහම් වඩාගන්නට වේවයි අභව්ය වෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ පෙරවරු කාලයෙහි සකසා සමාධිනිමිත්තෙහි නොසිටුනේ ද, මධ්යහ්නකාලයෙහි සකසා සමාධිනිමිත්තෙහි නොසිටුනේ ද, සවස්කාලයෙහි සකසා සමාධිනිමිත්තෙහි නොසිටුනේ ද, මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූ මහණ නො ලැබූ සමාධිනිමිත්ත ලබා ගන්නට වේවයි ලැබූ සමාධිනිමිත්ත වඩාගන්නට වේවයි අභව්ය වේ.
මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත වෙණෙඳ නොලැබූ භොග ලබාගන්නට වේවයි ලැබූ භොග වඩාගන්නට වේවයි භව්ය වෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙලොව්හි වෙණෙඳ පෙරවරුකාලයෙහි සකසා කර්මාන්තයෙහි සිටුනේ ද, මධ්යහ්නකාලයෙහි සකසා කර්මාන්තයෙහි සිටුනේ ද, සවස් කාලයෙහි සකසා කර්මාන්තයෙහි සිටුනේ ද, මහණෙනි, මේ අඞ්ගතුණෙන් සමන්වාගත වෙණෙඳ නොලැබූ භොග ලබන්නට වේවයි ලැබූ භොග වඩාගන්නට වේවයි භව්ය වේ.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්ම තුණෙකින් සමන්වාගත මහණ නො ලැබූ කුසල්දහම් ලබන්නට වේවයි ලැබූ කුසල්දහම් වඩන්නට වේවයි භව්ය වෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ පෙරවරු කාලයෙහි සමාධිනිමිත්තෙහි සකසා සිටුනේය. මධ්යහ්නකාලයෙහි සමාධිනිමිත්තෙහි සකසා සිටුනේය. සවස්කාලයෙහි සමාධිනිමිත්තෙහි සකසා සිටුනේය. මහණෙනි, මේ ධර්මතුණෙන් සමන්වාගත මහණ නොලැබූ කුසල්දහම් ලබන්නට වේවයි, ලැබූ කුසල්දහම් වඩන්නට වේවයි භව්ය වේ.
3. 1. 2. 10.
20. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත වෙණෙඳ නොබෝ කලෙකින් ම භෝගවිෂයෙහි මහත්බවට විපුලබවට පැමිණෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙලොව්හි වෙණෙඳ නුවණැස් ඇත්තේ වෙයි, ඥානසම්ප්රයුක්ත වීර්ය්ය ඇත්තේ ද වෙයි, නිඃශ්රයසම්පන්න ද වේ.