[2. රථකාරවර්‍ගය]
[සැවැත්නිදාන යි]
3. 1. 2. 1.
11. මහණෙනි, කරුණු තුණෙකින් සමන්‍වාගත ප්‍රකට මහණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස, දෙවිමිනිස්නට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර තුණෙකින යත්: (ශාසනයට) අනුලොම් නුවූ කායකර්‍මයෙහි සමාදන් කරවයි. අනුලොම් නුවූ වාක්කර්‍මයෙහි සමාදන් කරවයි. අනුලොම් නුවූ ධර්‍මයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ ධර්‍ම තුණෙකින් සමන්‍වාගත ප්‍රකට මහණ තෙම බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස, දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ ය.
මහණෙනි, ධර්‍ම තුනෙකින් සමන්‍වාගත ප්‍රසිද්ධ මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවිමිනිස්නට හිත පිණිස, සුව පිණිස පිළිපන්නේ ය. කවර තුණෙකින යත්: (සස්නට) අනුලොම් වූ කායකර්‍මයෙහි සමාදන් කරවයි, අනුලොම් වූ වාක්කර්‍මයෙහි සමාදන් කරවයි, අනුලොම් වූ ධර්‍මයෙහි සමාදන් කරවයි, මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත ප්‍රකට මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවිමිනිස්නට හිත පිණිස, සුව පිණිස පිළිපන්නේ ය.
3. 1. 2. 2.
12. මහණෙනි, මේ කරුණු තුණෙක් මුදුනෙහි බිසෙස් කළ දෑ කැත්රජහු විසින් දිවිහිම් කොට සිහි කරණුවට නිසි වේ. කවර තුණෙක යත්: මහණෙනි, යම් පෙදෙසෙක්හි මුදුනෙහි බිසෙස් කළ කැත් රජ උපන්නේ වේ ද, මහණෙනි, මෙය මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවිහිම් කොට සිහි කටයුතු පළමු වන කරුණ වේ.
තවද මහණෙනි, යම් පෙදෙසෙක දී මුදුනෙහි බිසෙස් කළ කැත් රජ බිසෙස් කෙළේ වේ ද, මහණෙනි, මෙය මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවිහිම් කොට සිහි කටයුතු දෙවෙනි කරුණ වේ.
තවද මහණෙනි, යම් පෙදෙසෙක්හි දී මුදුනෙහි බිසෙස් කළ කැත් රජ සඞ්ග්‍රාමය දිනා, දිනූ සඞ්ග්‍රාම ඇත්තේ, එම සඞ්ග්‍රාම ස්ථානය (කඳවුරු) අභිභවා වෙසේ ද, මහණෙනි, මේ මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවි හිමියෙන් සිහි කටයුතු තෙවෙනි කරුණ වේ. මහණෙනි, මේ මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවිහිමියෙන් සිහි කරණුවට නිසි කරුණු තුණ ය.
මහණෙනි, එසෙයින් ම මහණහු විසින් (දිවිහිම්) කොට සිහි කරණුවට නිසි මේ කරුණු තුණෙක් වේ. කවර කරුණු තුණෙක යත්: මහණෙනි, යම් පෙදෙසක දී මහණ තෙමේ කෙහෙරවුලු බා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සසුන් වන්නේ වේ ද, මහණෙනි, මෙය දිවිහිමියෙන් මහණහු විසින් සිහිකටයුතු පළමු වන කරුණය.
තවද මහණෙනි, යම් පෙදෙසෙක්හි දී මහණ ‘මෙය දුකැ’යි තත් වූ පරිද්දෙන් දැනගනී ද, ‘මෙය දුක ඉපදීමට හේතු යැ’යි තත් වූ පරිද්දෙන් දැනගනී ද, ‘මෙය දුඃඛනිරෝධයැ’යි තත් වූ පරිද්දෙන් දැනගනී ද, ‘මෙය දුඃඛ නිරෝධයට යන මාර්‍ගයැ’ යි තත් වූ පරිද්දෙන් දැනගනී ද, මහණෙනි, මෙය මහණහු විසින් දිවිහිමියෙන් සිහි කටයුතු දෙවැනි කරුණ වේ.
තවද මහණෙනි, මහණ යම් පෙදෙසෙක්හි දී ආස්‍රවක්‍ෂයෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද දිටුදැමියෙහි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එය ලැබගෙණ වාසය කරයි ද, මහණෙනි, මෙය මහණහු විසින් දිවිහිමියෙන් මෙනෙහි කටයුතු තෙවැනි කරුණ ය. මහණෙනි, මේ මහණහු විසින් දිවිහිමියෙන් මෙනෙහි කටයුතු කරුණු තුණයි.
3. 1. 2. 3.
13. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන්දෙනෙක යත්: නිරාශය, ආශංසය, විගතාශ යි.
මහණෙනි, නිරාශ පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ ස්වල්ප ආහාරපාන භෝජන ඇති දුක්දිවෙල් ඇති, දුකසේ ආහාර වස්ත්‍ර ලබන, සැඬල් කුලයෙහි වේව යි වැදි කුලයෙක වේව යි, කුලුපොතු කුලයෙහි වේව යි, සොම්මර කුලයෙහි වේව යි, පුප්සඬු කුලයෙහි වේව යි, නීචකුලයෙක උපන්නේ වෙයි. හෙතෙමේ ද දුර්වර්‍ණ වූ අප්‍රියදර්‍ශන ඇති ලකුණ්ටක වූ බොහෝ ආබාධ ඇති කණෙක් හෝ අත් කොරෙක් හෝ පා කොරෙක් හෝ පිළෙක් හෝ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශයනාවාස ප්‍රදීපෝපකරණ නො ලබන්නෙක් වෙයි. හෙ තෙමේ අසෝ ක්‍ෂත්‍රිය තෙමේ ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් බිසෙස් කරණ ලදැයි අසා. ඔහුට “කවර නම් දිනෙක ක්‍ෂත්‍රියයෝ මා ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිසෙස් කරන්නාහු දෝ!” යි මෙසේ සිතෙක් නො වෙයි. මහණෙනි, මේ පුද්ගල තෙමේ නිරාශ යැ යි කියනු ලැබේ.
මහණෙනි, ආශංස පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි ශීර්‍ෂාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජක්හුගේ අභිෂේකයට යෝග්‍ය වූ අචලප්‍රාප්ත වූ අනභික්‍ෂික්ත වූ දෙටු පුතෙක් වේ හෙ තෙමේ අසෝ කැත් ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂික්තයයි අසා, “ක්‍ෂත්‍රියයෝ කවර නම් දිනෙක මාත් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් බිසෙස් කරන්නාහු දෝ!” යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. මහණෙනි, මේ පුද්ගල තෙමේ ආශංසය යි කියනු ලැබේ.
මහණෙනි, විගතාශ පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි ශීර්‍ෂාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජෙක් වේ. හේ මෙනම් “ක්‍ෂත්‍රිය තෙමේ ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂික්තය”යි අසා, ඔහුට “කවර නම් දිනෙක ක්‍ෂත්‍රියයෝ මාත් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් බිසෙස් කරන්නාහු දෝ!” යි මෙසේ සිතෙක් නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, අනභිෂික්ත වූ ඔහුට පෙර යම් අභිෂේකාශායෙක් වී ද, ඔහුගේ ඒ ආශාව සංහිඳින. මහණෙනි, මේ පුද්ගල තෙමේ විගතාශයී කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලොව්හි විද්‍යමාන වෙති.