3. 1. 2. 5.
15. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර ඉසිපතන නම් වූ මිගදායයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, යි’ භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යී ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, වූ විරියෙකි. පචේතන නම් රජෙක් විය. මහණෙනි, ඉක්බිති පචේතන රජ තෙම, “යහළු රථකාරය, මෙයින් සමසක් ඇවෑමෙන් මට යුද්ධයෙක් වන්නේ ය. යහළු රථකාරය, මට නව රියසක් යුවළක් කරන්නට හැක්කෙහි දැ”යි රියකරුවා ඇමතීය. මහණෙනි, “හැක්කෙමි දේවයෙනි”යි රියකරු පචේතන රජහට පිළිවදන් ඇස්වීය. මහණෙනි, ඉක්බිත්තෙන් රථකාර තෙමේ සරැයක් අඩු සමසෙකින් එක් රියසකක් නිමැවීය. මහණෙනි, ඉක්බිත්තෙන් පචේතන රජ තෙමේ, “යහළු රථකාරය, මෙයින් සදවසක් ඇවෑමෙන් මාගේ සඞ්ග්‍රාමය වන්නේය. තා විසින් නවසක්සඟළ නිමවන ලද දැයි රථකාරයා ඇමතීය. “දේවයිනි, සරැයක් හළ මේ සමසින් එක් රියසකෙක් නිමවන ලදැ”යි රියකරු කීය. “යහළු රථකාරය, මේ සදවසින් මාගේ දෙවන රියසක නිමවන්නට හැක්කෙහි ද?” “දේවයිනි, හැක්කෙමැ” යි රථකාර තෙම පචේතන රජුට පිළිවදන් ඇස්වීය. මහණෙනි, ඉක්බිති රථකාර තෙමේ සදවසෙකින් දෙවන රියසක නිමවා නවසක්යුවළ රැගෙණ පචේතන රජු වෙත එළඹියේය. එළඹ පචේතන රජහට “දේවයෙනි, මුබගේ මේ නවසක් යුවළ නිමවන ලදැ”යි මෙය පැවසීය. “යහළු රථකාරය, තා විසින් යම් මේ රියසකෙක් සරැයක් අඩු සමසෙකින් නිමවන ලද ද, තා විසින් යම් මේ රියසකෙක් සදවසෙකින් නිමවන ලද ද, මේ දෙකෙහි වෙනස කවරේ ය? මම කිසිදු වෙනසක් නො දකිමි” යි රජ කීය. “දේවයෙනි, මේ දෙක්හි වෙනස ඇත් ම ය. දේව තෙමේ වෙනස දකීවා” යි රියකරු කීය.
මහණෙනි, ඉක්බිත්තෙන් රථකාර තෙමේ යම් ඒ රියසකෙක් සදවසින් නිමවන ලද ද, එය පෙරළා හැරියේය. එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝගයාගේ ගතිය යම්තාක් ද ඒතාක් ගොස් බමා බිම වැටුනේය. යම් ඒ රියසකෙක් සරැයක් අඩු සමසෙකින් නිමවන ලද ද එය පෙරළා හැරියේය. එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝග ගතිය වහන තාක් ගොස් අකුරෙහි වැද තුබුවා සෙයින් සිටියේය.
“යහළු රථකාරය, යම් මේ රියසකෙක් සදවසින් නිමවන ලද ද, එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝගයාගේ ගතිය වහන තාක් ගොස් බමා බිම වැටුනේ ද, එයට හේතු කිම? එයට කරුණු කිම? යහළු රථකාරය, යම් මේ සකෙක් සරැයෙකින් අඩු සමසෙකින් නිමවන ලද ද, එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝගයාගේ ගතිය වහන තාක් ගොස් අකුරෙහි වැද තුබුවා සෙයින් සිටියේ ද, එයට හේතු කවරේ ය: එයට කරුණ කවරේය? දේවයෙනි, යම් මේ රියසකෙක් සදවසෙකින් නිමවන ලද ද, එහි නිම්වළල්ල වක්වෙයි. සදොස් වෙයි. එලයෙන් යුක්ත වෙයි. දැවි ද වක් වෙයි. සදොස් වෙයි. එලයෙන් යුක්ත වෙයි. නැබ ද වක් වෙයි. සදොස් වෙයි. එලයෙන් යුක්ත වෙයි. නිම්වළල්ළෙහි වක්බැවින් ද සදොස් බැවින් ද එලයෙන් යුත් බැවින් ද දැවියෙහි වක් බැවින් ද සදොස් බැවින් ද එලයෙන් යුත් බැවින් ද නැබෙහි වක් බැවින් ද සදොස් බැවින් ද එලයෙන් යුත් බැවින් ද පෙරළා හරිණ ලද්දා වූ ම එය ප්‍රයෝගයාගේ ගතිය යම්තාක් ද ඒ තාක් ගොස් බමා බිම වැටුනේ ය. දේවයෙනි, යම් ඒ රියසකෙක් සරැයක් අඩු සමසෙකින් නිමවන් ලද ද, එහි නිම් වළල්ල ද නො වක් වෙයි. නිදොස් වෙයි. එලයෙන් තොර වෙයි. (එහි) දැවිහු ද නො වක් වෙයි. නිදොස්හ. එලයෙන් තොරහ. නැබ ද නො වක්ය, නිදොස්ය, එලයෙන් තොරය, නිම් වළල්ලේ නොවක් බැවින් නිදොස් බැවින් එලයෙන් තොර බැවින් ද, දැවියෙහි නො වක් බැවින් නිදොස් බැවින් එලයෙන් තොර බැවින් ද පෙරළා හරිණ ලද්දා වූ ම එය ප්‍රයෝගයාගේ ගතිය යම්තාක් ද ඒ තාක් ගොස් අකුරෙහි වැද තුබුවා සෙයින් සිටියේය.
මහණෙනි, එසමයෙහි ඒ රියකරු ඒකාන්තයෙන් අනෙකෙක් විය හැක්කැ යි තොපට මෙබඳු සිතෙක් විය හෙයි. මහණෙනි, මෙය මෙසේ නො දැක්ක යුතු ම ය. එ සමයෙහි මම ඒ රියකරු වීමි. මහණෙනි, මම වනාහි එකල දැව පිළිබඳ ඇදෙහි දැව පිළිබඳ දොස්හි දැව පිළිබඳ එලයෙහි නිපුණයෙකිම් වීමි. මහණෙනි, දැන් වනාහි මම අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූයෙම් කායවඞ්කයන්ගේ ද කායදෝෂයන්ගේ ද කායකෂායයන්ගේ ද නිපුණයෙකිම් වෙමි. වාග්වඞ්කයන්ගේ ද වාග්දෝෂයන්ගේ ද වාක්කෂායයන්ගේ ද නිපුණයෙකිම් වෙමි. මනෝවඞ්කයන්ගේ ද මනෝදෝෂයන්ගේ ද මනඃකෂායයන්ගේ ද නිපුණයෙකිම් වෙමි.
මහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ කායවඞ්කය කායදෝෂය කායකෂායය ප්‍රහීණ නුවූයේ වේ ද, වාග්වඞ්කය වාග්දෝෂය වාක්කෂාය ප්‍රහීණ නුවූයේ වේ ද, මනෝවඞ්කය මනෝදෝෂය මනඃකෂාය ප්‍රහීණ නුවූයේ වේ ද, මහණෙනි, මෙසේ ඔහු මේ (ධර්‍මවිනයයෙන්) ශාසනයෙන් ගුණ හීනවීමෙන් වැටුනාහු වෙති. සදවසෙකින් නිමවන ලද ඒ රියසක යම්සේ වේ ද, එසේ ය.
මහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ කායවඞ්කය කායදෝෂය කායකෂායය ප්‍රහීණ වූයේ ද, වාග්වඞ්කය වාග්දෝෂය වාක්කෂාය ප්‍රහීණ ද, මනෝවඞ්කය මනෝදෝෂය මනඃකෂායය ප්‍රහීණ ද, මහණෙනි, මෙසේ වනාහි ඔහු මෙසස්නෙහි පිහිටියාහු වෙති. සරැයක් හළ සමසෙකින් නිමි ඒ රියසක යම්සේ වේ ද එසේ ය.
මහණෙනි, එහෙයින් කායවඞ්කය කායදෝෂය කායකෂායය දුරලන්නම්හ. වාග්වඞ්කය වාග්දෝෂය වාක්කෂායය දුරලන්නම්හ. මනෝවඞ්කය මනෝදෝෂය මනඃකෂායය දුරලන්නම්හ යි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
3. 1. 2. 6.
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත භික්‍ෂු තෙම අවිරුද්ධ ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි. ඔහු විසින් ආස්‍රවයන්ගේ ක්‍ෂයය පිණිස කරුණ ද පටන්ගන්නා ලද්දේ වේ. කවර තුණෙකින යත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඉන්‍ද්‍රියයන් විෂයයෙහි රක්නා ලද දොර ඇත්තේ වේ. භෝජනයෙහි මාත්‍රඥ වේ. නිදිවැරීමෙහි යෙදුණේ වේ.
මහණෙනි, භික්‍ෂු තෙම කෙසේ ඉන්‍ද්‍රිය විෂයයෙහි රක්නා ලද දොර ඇති වේ ද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ වේ අනුබ්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වේ. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවර කොට වාසය කරණ මේ පුද්ගලයා අභිධ්‍යා දෞර්‍මනස්‍ය නම් වූ ලාමක අකුශල ධර්‍මයෝ ලුහු බඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රියය රක්නේ ය. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නේ ය. කණින් ශබ්දයක් අසා ... නාසිකායෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවෙන් රසයක් විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් ස්පර්‍ශ කොට ... සිතින් දහමක් දැන නිමිති වශයෙන් නොගන්නේ වේ ද, අනුබ්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වේ ද, අභිධ්‍යා දෞර්‍මනස්‍ය නම් වූ ලාමක අකුශලධර්‍මයෝ තුමූ ම ඉන්‍ද්‍රිය සංවර කොට නොගෙණ වසන මේ පුඟුලා යම් හෙයෙකින් ලුහු බඳනාහු ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මහණ තෙමේ මෙසේ ඉන්‍ද්‍රිය විෂයයෙහි වැසූ ද්වාර ඇති වේ.