3. 1. 2. 4.
14. මහණෙනි, යම් ඒ දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජෙක් වේ ද, හෙ ද රජකුගෙන් තොර වූ අණසක නො පවත්වයි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් “භාග්‍යවතුන් වහන්සේට වහන්ස, දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විති රජකුහට කවර නම් රජෙක් වේ දැ” යි මෙය කීය. මහණ, ධර්‍මය වේයැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, මෙලොව්හි දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජ තෙමේ ධර්‍මය ම ආශ්‍රය කොට ධර්‍මයට සත්කාර කරමින් ධර්‍මයට ගරු කරමින් ධර්‍මය පුදමින් ධර්‍මය ධ්වජ කොට ඇත්තේ ධර්‍මය කේතු කොට ඇත්තේ ධර්‍මාධිපත්‍යය ඇත්තේ ධාර්මික වූ රකවල් ඇතුළත් ජනයා කෙරෙහි යොදයි.
තවද මහණ, දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජ තෙමේ ධර්‍මය ම ආශ්‍රය කොට ධර්‍මයට ම සත්කාර කරන්නේ ධර්‍මය ම ගරු කරන්නේ ධර්‍මය ම පුදන්නේ ධර්‍මය ම ධ්වජ කොට ඇත්තේ ධර්‍මය ම කේතු කොට ඇත්තේ ධර්‍මාධිපත්‍යය ඇත්තේ අනුයුක්ත වූ ක්‍ෂත්‍රියයන් කෙරෙහි ද, බලසෙනඟ කෙරෙහි ද, බමුණුගැහැවියන් කෙරෙහි ද, නියම්ගම් දනවු වැස්සන් කෙරෙහි ද, මහණබමුණන් කෙරෙහි ද, මෘගපක්‍ෂීන් කෙරෙහි ද, ධාර්මික වූ රක්‍ෂාවරණ ගුප්තිය පණවයි. මහණ, ඒ දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජ ධර්‍මය ම ආශ්‍රය කොට, ධර්‍මයට ම සත්කාර කරන්නේ, ධර්‍මය ම ගරු කරන්නේ, ධර්‍මය ම පුදන්නේ, ධර්‍මය ධ්වජ කොට ඇත්තේ, ධර්‍මය කේතු කොට ඇත්තේ, ධර්‍මාධිපත්‍යය ඇත්තේ අභ්‍යන්තර ජනයා කෙරෙහි ධාර්මික වූ රක්‍ෂාවරණ ගුප්තිය යොදා අනුයුක්ත වූ ක්‍ෂත්‍රියයන් කෙරෙහි ද, බලසෙනඟ කෙරෙහි ද, බමුණු ගැහැවියන් කෙරෙහි ද, නියම්ගම් දනවු වැස්සන් කෙරෙහි ද, මහණ බමුණන් කෙරෙහි ද, මෘගපක්‍ෂීන් කෙරෙහි ද, ධාර්මික වූ රක්‍ෂාවරණ ගුප්තිය යොදා දැහැමින් ම අණසක පණවයි ද, ඒ අණසක මනුෂ්‍ය වූ පසමිතුරු වූ කිසියම් ප්‍රාණියකු විසින් නොවැළැහිය හැකි වෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම දැහැමි වූ අර්‍හත් වූ ධර්‍මරාජන් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ධර්‍මය ම ආශ්‍රය කොට ධර්‍මයට ම සත්කාර කරණ සේක් ධර්‍මය ම ගරු කරණ සේක් ධර්‍මය ම පුදන සේක් ධර්‍මය ම ධ්වජ කොට ඇති සේක් ධර්‍මය ම කේතු කොට ඇති සේක් ධර්‍මාධිපත්‍යය ඇති සේක් මෙබඳු වූ කායකර්‍මය සෙවිය යුතුය යි ද, මෙබඳු වූ කායකර්‍මය නො සෙවිය යුතුයැ යි ද, කායකර්‍ම විෂයෙහි ලා ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය වදාරණ සේක.
මහණ, තවද දැහැමි වූ ධර්‍මරාජන් වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ධර්‍මය ම ආශ්‍රය කොට ධර්‍මයට සත්කාර කරණ සේක් ධර්‍මය ගරු කරණ සේක් ධර්‍මය පුදන සේක් ධර්‍මය ධ්වජ කොට ඇති සේක් ධර්‍මය කේතු කොට ඇති සේක් ධර්‍මාධිපත්‍යය ඇති සේක් මෙබඳු වූ වාක්කර්‍මය සෙවිය යුතුයැ යි ද, මෙබඳු වූ වාක්කර්‍මය නො සෙවිය යුතුයැ යි ද, වාක්කර්‍ම විෂයෙහි දැහැමි වූ රක්‍ෂාවරණ ගුප්තිය පණවන සේක … මෙබඳු වූ මනඃකර්‍මය සෙවිය යුතුය, මෙබඳු වූ මනඃකර්‍මය නො සෙවිය යුතුයැ යි ද මනඃකර්‍මවිෂයෙහි දැහැමි වූ රක්‍ෂාවරණ ගුප්තිය පණවන සේක.
මහණ, දැහැමි වූ ධර්‍මරාජන් වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ තථාගතයන් වහන්සේ ධර්‍මයට සත්කාර කරණ සේක් ධර්‍මය ගරු කරණ සේක් ධර්‍මය පුදන සේක් ධර්‍මය ධ්වජ කොට ඇති සේක් ධර්‍මය කේතු කොට ඇති සේක් ධර්‍මාධිපත්‍යය ඇති සේක් කායකර්‍ම විෂයයෙහි ධාර්මික වූ රක්‍ෂාවරණ ගුප්තිය පණවා, වාක්කර්‍ම විෂයයෙහි ධාර්මික වූ රක්‍ෂාවරණ ගුප්තිය පණවා, මනඃකර්‍ම විෂයයෙහි ධාර්මික වූ රක්‍ෂාවරණ ගුප්තිය පණවා, දැහැමින් ම නිරුත්තර වූ ධර්‍මචක්‍රය පවත්වන සේක් ද, ඒ ධර්‍මචක්‍රය වනාහි ලොව්හි ශ්‍රමණ වූ හෝ බ්‍රාහ්මණ වූ හෝ දේව වූ හෝ බ්‍රහ්ම වූ හෝ ලොව්හි කිසිවකු විසිනුත් නො වැළැහිය හැක්කේ වේ.