3. 1. 2. 3.
13. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන්දෙනෙක යත්: නිරාශය, ආශංසය, විගතාශ යි.
මහණෙනි, නිරාශ පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ ස්වල්ප ආහාරපාන භෝජන ඇති දුක්දිවෙල් ඇති, දුකසේ ආහාර වස්ත්‍ර ලබන, සැඬල් කුලයෙහි වේව යි වැදි කුලයෙක වේව යි, කුලුපොතු කුලයෙහි වේව යි, සොම්මර කුලයෙහි වේව යි, පුප්සඬු කුලයෙහි වේව යි, නීචකුලයෙක උපන්නේ වෙයි. හෙතෙමේ ද දුර්වර්‍ණ වූ අප්‍රියදර්‍ශන ඇති ලකුණ්ටක වූ බොහෝ ආබාධ ඇති කණෙක් හෝ අත් කොරෙක් හෝ පා කොරෙක් හෝ පිළෙක් හෝ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශයනාවාස ප්‍රදීපෝපකරණ නො ලබන්නෙක් වෙයි. හෙ තෙමේ අසෝ ක්‍ෂත්‍රිය තෙමේ ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් බිසෙස් කරණ ලදැයි අසා. ඔහුට “කවර නම් දිනෙක ක්‍ෂත්‍රියයෝ මා ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිසෙස් කරන්නාහු දෝ!” යි මෙසේ සිතෙක් නො වෙයි. මහණෙනි, මේ පුද්ගල තෙමේ නිරාශ යැ යි කියනු ලැබේ.
මහණෙනි, ආශංස පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි ශීර්‍ෂාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජක්හුගේ අභිෂේකයට යෝග්‍ය වූ අචලප්‍රාප්ත වූ අනභික්‍ෂික්ත වූ දෙටු පුතෙක් වේ හෙ තෙමේ අසෝ කැත් ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂික්තයයි අසා, “ක්‍ෂත්‍රියයෝ කවර නම් දිනෙක මාත් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් බිසෙස් කරන්නාහු දෝ!” යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. මහණෙනි, මේ පුද්ගල තෙමේ ආශංසය යි කියනු ලැබේ.
මහණෙනි, විගතාශ පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි ශීර්‍ෂාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජෙක් වේ. හේ මෙනම් “ක්‍ෂත්‍රිය තෙමේ ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂික්තය”යි අසා, ඔහුට “කවර නම් දිනෙක ක්‍ෂත්‍රියයෝ මාත් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් බිසෙස් කරන්නාහු දෝ!” යි මෙසේ සිතෙක් නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, අනභිෂික්ත වූ ඔහුට පෙර යම් අභිෂේකාශායෙක් වී ද, ඔහුගේ ඒ ආශාව සංහිඳින. මහණෙනි, මේ පුද්ගල තෙමේ විගතාශයී කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලොව්හි විද්‍යමාන වෙති.
මහණෙනි, එපරිද්දෙන් ම මේ පුද්ගලයෝ තුන්දෙනෙක් භික්‍ෂූන් අතර විද්‍යමාන වෙති. කවර තුන්දෙනෙක යත්: නිරාශය, ආශංසය, විගතාශ යි.
මහණෙනි, නිරාශපුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ලාමක ස්වභාව ඇත්තේ අපිරිසිදු වූ කායකර්‍මාදිය ඇත්තේ, සැකයෙන් සිහිකටයුතු හැසිරීම් ඇත්තේ, පිළිසන් කර්‍ම ඇත්තේ ශ්‍රමණ ප්‍රතිරූපක වැ “ශ්‍රමණයෙමි” යි ප්‍රතිඥා කරන්නේ බ්‍රහ්මචාරී ප්‍රතිරූපක වැ “බඹසැරිමි”යී පිළින කරන්නේ ඇතුළත දුගඳ ඇතියේ රාගාදියෙන් තෙත් වූයේ හටගත් කෙලෙස් කසළ ඇත්තේ දුශ්ශීල වෙයි. හෙ තෙමේ “මෙනම් භික්‍ෂු තෙම ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධිය හා ඵලප්‍රඥා හා දිටුදැම්හි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලැබගෙණ වෙසේ ලැ යි අසා ද, ඔහුට මෙබඳු සිතෙක් නො වෙයි. “කවර නම් දිනෙක මමත් ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධිය හා ඵලප්‍රඥාව හා ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලැබැ වසන්නෙම් දෝ!”යි මෙබඳු සිතෙක් නො වේ. මහණෙනි, මෙ තෙම නිරාශ පුද්ගල යැ යි කියනු ලැබේ.
මහණෙනි, ආශංස පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් සිල් ඇත්තේ, කලණදහම් ඇත්තේ වේ. “මෙ නම් භික්‍ෂු තෙම ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධිය හා ඵලප්‍රඥාව හා ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට සපයාගෙණ වෙසේ ලැ යී හෙතෙම අසා ද, ඔහුට “කවර නම් දිනෙක මමත් ආස්‍රවක්‍ෂයයෙන් අනාශ්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මේ අත්බව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලැබ වසන්නෙම් දෝ!”යි මෙබඳු සිතෙක් වේ. මහණෙනි, මෙතෙම ආශංස පුද්ගල ය යි කියනු ලැබේ.
මහණෙනි, විගතාශ පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් අර්‍හත් වූයේ ක්‍ෂය කළ ආශ්‍රව ඇත්තේ වේ ද, “මෙනම් භික්‍ෂු තෙම ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධිය හා ඵලප්‍රඥාව හා ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට සපයා වෙසේ ලැ යි අසා ද, ඔහුට “කවර නම් දිනෙක මමත් ආශ්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... පසක් කොට ඊට පැමිණ වෙසෙම්දෝ!”යී (මෙබඳු) සිතෙක් නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, පෙර ම කෙලෙසුන්ගෙන් නොමිදුනා වූ ඔහුගේ යම් විමුක්තියෙහි ආශායෙක් වී ද ඒ ආශා තොමෝ ඔහුට සංහුන. මහණෙනි, මේ විගතාශපුද්ගලයැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනා භික්‍ෂූන් අතරෙහි විද්‍යමාන වෙත්.
3. 1. 2. 4.
14. මහණෙනි, යම් ඒ දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජෙක් වේ ද, හෙ ද රජකුගෙන් තොර වූ අණසක නො පවත්වයි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් “භාග්‍යවතුන් වහන්සේට වහන්ස, දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විති රජකුහට කවර නම් රජෙක් වේ දැ” යි මෙය කීය. මහණ, ධර්‍මය වේයැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, මෙලොව්හි දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජ තෙමේ ධර්‍මය ම ආශ්‍රය කොට ධර්‍මයට සත්කාර කරමින් ධර්‍මයට ගරු කරමින් ධර්‍මය පුදමින් ධර්‍මය ධ්වජ කොට ඇත්තේ ධර්‍මය කේතු කොට ඇත්තේ ධර්‍මාධිපත්‍යය ඇත්තේ ධාර්මික වූ රකවල් ඇතුළත් ජනයා කෙරෙහි යොදයි.