2. 3. 12. 10.
22. මහණෙනි, දෙතැනෙක්හි මොනොවට පිළිපදනා වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කට යුත්තේ ද වෙයි. බොහෝ කුසල් ද රැස් කරණේය. කවර දෙතැනෙක යත්: මවු කෙරෙහි ද පියා කෙරෙහි ද යන දෙතැන්හිය. මහණෙනි, මේ දෙතැන්හි මොනොවට පිළිපදනා වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ ද වේ. බොහෝ පින් ද රැස් කරණේය යි.
2. 3. 12. 11.
23. මහණෙනි, දෙතැනෙක වරදවා පිළිපදනා වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නටගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූ යේ ද නුවණැත්තන් විසින් උපවාද කළ යුත්තේ ද වෙයි. බොහෝ පව් ද රැස් කරණේය. කවර දෙතැනෙකය යත්: තථාගතයන් වහන්සේ කෙරෙහි ද තථාගතශ්‍රාවකයා කෙරෙහි ද යන දෙතන්හිය. මහණෙනි, මේ දෙතන්හි වරදවා පිළිපදනා වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූයේ ද නුවණැත්තවුන් විසින් උපවාද කටයුත්තේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේ ය යි.
2. 3. 12. 12.
24. මහණෙනි, දෙතැනෙක මනාව පිළිපදනා වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ ද වෙයි. බොහෝ පින් ද රැස් කරණේය. කවර දෙතැනෙකය යත්: තථාගතයන් වහන්සේ කෙරෙහි ද තථාගතශ්‍රාවකයා කෙරෙහි ද යන දෙතන්හිය. මහණෙනි, මේ දෙතන්හි මනාව පිළිපදනා වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ ද වෙයි. බොහෝ පින් ද රැස් කරණේ ය යි.
2. 3. 12. 13.
25. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අෂ්ටසමාපත්ති සඞ්ඛ්‍යාත) සව්චිත්තව්‍යවදානය ද ලොවැ කිසි එක ද ධර්‍මයක් (තෘෂ‍්ණා දෘෂ්ටි මානපරාමර්‍ශයෙන්) නොගන්නේ ද යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකයි.
2. 3. 12. 14.
26. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: ක්‍රෝධය හා උපනාහය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකයි.
2. 3. 12. 15.
27. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: ක්‍රෝධවිනය හා උපනාහවිනය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකයි.
දොළොස්වන වග යි.